Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා
2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා
'යුද හමුදාව කියන්නේ රටේ අවශ්‍යතාව හඳුනාගෙන ඒ වෙනුවෙන් අවශ්‍ය කටයුතු සිදුකරන ආයතනයක්. ඒ නිසා යුද හමුදාවේ කාර්යභාරය යුද්ධ කිරීමට පමණක් සීමා වෙන්නේ නැහැ. රට අනාරක්ෂිතභාවයට පත්වෙලා තිබෙන්නේ කුමන අභියෝගයක් නිසාද, ඒ අභියෝගයට සාර්ථකව මුහුණ දීලා රට ආරක්ෂා කරන්න යුද හමුදාව නිරන්තරයෙන්ම සූදානමින් ඉන්නවා. ඒ අනුවයි යුද හමුදාව විදිහට ආහාර සහ පෝෂණ සුරක්ෂිතතාව අද වෙද්දි රටේ ප්‍රමුඛතම අවශ්‍යතාව බව හඳුනාගෙන ඒ වෙනුවෙන් කටයුතු කරන්න අපි සූදානම් වෙලා සිටින්නේ. අපේ වත්මන් යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහත්මයාගේ මගපෙන්වීම සහ සංකල්පයක් අනුව රටේ සංවර්ධන කාර්යයට යුද හමුදාව දායක කරවීමේ එක් පියවරක් විදිහටයි අපි මේ සඳහා මැදිහත් වුණේ.
ශ්‍රී ලංකාවේ ආහාර සහ පෝෂණ සුරක්ෂිතතාවට බලපවත්වන බාධාවන් රැසක් අපි හඳුනාගෙන තිබෙනවා. එක් කරුණක් තමයි ලෝකය වගේම ශ්‍රී ලංකාවත් විවිධාකාරයේ කාලගුණික සහ දේශගුණික විපර්යාසයන්ට මුහුණදෙමින් තිබීම. සාමාන්‍යයෙන් ලැබෙන වර්ෂාපතනයේ ප්‍රමාණය සාපේක්ෂව වෙනසක් නොවුණත් වර්ෂාවේ තීව්‍රතාව වැඩිවීමක් සිදුවෙලා තිබෙනවා. අනෙක් කාරණය තමයි ජනගහනය සහ කාර්මීකරණය වැඩි වීමත් සමග කෘෂිකර්මය සඳහා භූමිය හිඟවෙලා තිබෙනවා. ඒ වගේම ගුණාත්මකභාවයෙන් යුතු බීජ හිඟවීම. අපි පිටරටවලින් ආනයනය කරනු ලබන බීජවල ගුණාත්මකභාවය නොමැති වීම නිසා අපේක්ෂිත අස්වනු ප්‍රමාණය අහිමි වෙලා තිබෙනවා. දුර්වල කෘෂිකාර්මික ප්‍රතිපත්ති සහ ආකල්ප වගේම නිවැරදි වගා ක්‍රමවලින් ගොවි ජනතාව දුරස් වීමත් මේ සඳහා බලපාලා තිබෙනවා. උදාහරණයක් විදිහට අද කෘමිනාශක අවභාවිතාවක් ගොවීන් අතර දකින්න ලැබෙනවා. ඒ වගේම කෘෂිකර්මාන්තය සඳහා භාවිත කරන කෘෂි උපකරණ භාවිත කරන ආකාරය පිළිබඳව විධිමත් අවබෝධයක් නැහැ.
තවත් කාරණයක් තමයි කෘෂිකර්ම ක්ෂේත්රය පිළිබඳව කෙරෙන සාර්ථක පර්යේෂණ සහ නව සොයාගැනීම් කොපමණ තිබුණත් මේ නව දැනුම ගොවි ජනතාව අතරට නොයෑම. තවත් ගැටලුවක් වෙන්නේ පසු අස්වනු හානිය. මේ සෑම භෝගයක්ම අස්වැන්න නෙළා ගන්නා අවස්ථාවේ ඉඳලා පාරිභෝගිකයා අතට පත්වන අවස්ථාව දක්වා වන ක්‍රියාවලියේ අතරමැදි අවස්ථාවලදී විවිධාකාරයෙන් හානි වෙනවා. මේ ගැන නිසි අවධානයක් නැහැ. ඒ නිසා විශාල ප්‍රමාණයක් දෛනිකව අපතේ යනවා. ඒ වගේම වෙළෙඳ පොළ පිළිබඳ ගොවීන්ට නිසි අවබෝධයක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා කාලීන අවශ්‍යතාව හඳුනාගෙන වගාවන් සිදුනොවීම නිසා අධික අතිරික්ත නිර්මාණය වෙලා භෝග අපතේ යාම සිදුවෙනවා. නිසි කෘෂිකාර්මික සහ වෙළෙඳ පොළ තොරතුරු ගොවීන් අතරට නොයෑම මේ සඳහා බලපාලා තිබෙනවා. තවත් කරුණක් වෙන්නේ නූතන පරම්පරාව කෘෂිකර්මාන්තයෙන් ක්‍රමක්‍රමයෙන් ඈත් වෙමින් සිටින අහිතකර ප්‍රවණතාවක් දක්නට ලැබීම. මේ කර්මාන්තය නිසි පරිදි කරගෙන ගියොත් කෙතරම් ලාභ ප්‍රමාණයක් ලබන්න හැකියාව තිබෙනවාද කියන කාරණය සම්බන්ධයෙන් ඔවුන්ට අවබෝධයක් නැහැ.
ඉහත සඳහන් කරපු අභියෝගයන්ට සාර්ථකව මුහුණ දෙන්න ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ හැකි විසඳුම් ගණනාවක් යුද හමුදාව හඳුනාගෙන තිබෙනවා. ඒ යටතේ දේශීය වශයෙන් ක්‍රියාත්මක වන වැඩසටහනක් ඔස්සේ ගුණාත්මක තත්ත්වයෙන් යුතු බීජ වර්ග සහ රෝපණ ද්‍රව්‍ය නිෂ්පාදනය කරගැනීමේ වැඩපිළිවෙළක අවශ්‍යතාව ශ්‍රී ලංකාවට තිබෙනවා. ඒ වගේම කෘෂිකර්මාන්තය සහ ඒ හා බැඳුණු වෙළෙඳ පොළ කියන කාරණා සම්බන්ධයෙන් විධිමත් සහ නව තොරතුරු, දැනුම ගොවි ජනතාව අතරට ගෙනයාමේ වැඩපිළිවෙළක් සකස් විය යුතුයි. ඒ වගේම පාසල් අධ්‍යාපනයේ සිටම මූලික කෘෂිකාර්මික දැනුම ලබාදීම ඔස්සේ නූතන පරම්පරාව කෘෂිකර්මාන්තය වෙත නැඹුරු කර ගැනීමේ හැකියාව තිබෙනවා.
අපේ අතීතයේ තිබුණු සාම්ප්‍රදායික කෘෂිකාර්මික ක්‍රමවේදයන්ට යොමු වීම සහ පස, ජලය ආදී තවත් කෘෂිකර්මය සඳහා වූ සම්පත් කාර්යක්ෂමව භාවිත කරන ආකාරය පිළිබඳව ගොවි ජනතාව දැනුවත් කළයුතු වෙනවා. අතරමැදි කාලවලදී මේ සම්පත් නිසි ආකාරයෙන් භාවිත කරලා කෙටිකාලීන භෝග වගාවන් සාර්ථකව සිදුකරන්නත් ගොවීන් යොමු කිරීම වැදගත් කාරණයක් වෙනවා. අපි කරන තවත් යෝජනාවක් තමයි කාලගුණික තත්ත්ව අපිට වෙනස් කිරීමට හැකියාව නොමැති නිසා තිබෙන ඉඩකඩ උපරිම ලෙස භාවිත කරමින් ආරක්ෂිත ගෘහ තුළ භෝග වගාවන් සිදුකිරීමේ ක්‍රමවේදය ගොවීන් අතර ප්‍රචලිත කිරීම. ඒ වගේම පසු අස්වනු හානිය හැකිතාක් අවම කිරීමට විධිමත් වැඩපිළිවෙළක් නිර්මාණය විය යුතුයි. ගොවීන්ට සාධාරණ වෙළෙඳ පොළක් නිර්මාණය කිරීම මගින් ගොවීන්ට අතරමැදි බලපෑම්වලින් තොරව තමන්ගේ නිෂ්පාදන අලෙවි කර ගැනීමේ හැකියාව ලබාදීමට වගකිවයුතු අංශ මැදිහත්වීම වැදගත් වෙනවා.
කෘෂිකර්මාන්තය සඳහාත් පුනර්ජනනීය බලශක්ති ක්‍රමවේද හඳුන්වාදීම මගින් කෘෂිකර්මාන්තය තවත් ස්ථිරසාර කරගැනීමට රුකුලක් වෙනවා. තවත් කාරණයක් වෙන්නේ මේ වෙද්දි පිටරටින් ගෙන්වන රසායනික පොහොර යෙදීම නිසා පසේ සාරවත්භාවයට හානිවෙලා තිබෙනවා. ඒ නිසා දේශීය වශයෙන් කෘෂිකර්මාන්තය සඳහා කාබනික පොහොර නිෂ්පාදනය කිරීමේ ක්‍රමවේදයක් නිර්මාණය කිරීම අත්‍යවශ්‍ය බව අපට පෙනී ගොස් තිබෙනවා. ඒ ක්‍රමවේද ක්‍රියාත්මක කිරීම හරහා නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ ගැටලුවලට සාර්ථක විසඳුම් ලබාදීමට හැකියාව තිබෙනවා. ඒ වගේම පරිසරයට සහ සෞඛ්‍යයට හානිදායක නොවන පළිබෝධ පාලන ක්‍රමවේද අතීතයේ අපේ රටේ ඕනෑතරම් තිබුණා. නමුත් ඒවා අභාවයට ගොස් තිබෙනවා. එම ක්‍රමවේද නැවත ජනතාව අතර ප්‍රචලිත කිරීම සහ ලබාගත හැකි මූලාශ්‍ර සුලබ කිරීමට විධිමත් වැඩසටහනක අවශ්‍යතාව තිබෙනවා. අනෙක් වැදගත්ම කාරණය තමයි ජනතාවගේ ආහාර රටාව වෙනස් කරන්න ජාතික මට්ටමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරලීම. මේ හරහා යම් යම් ආහාර වර්ග හිඟ වන කාලවලදී ඒවා කල්තබාගත හැකි ක්‍රමවේද පිළිබඳව ජනතාව දැනුවත් කිරීම, සෞඛ්‍යයට අහිතකර ක්ෂණික ආහාර රටාවෙන් වෙන්වෙලා දේශීය වගාවන් ඔස්සේ නිෂ්පාදනය කරන විවිධ නව ආහාර වර්ගවලට ජනතාව යොමු කිරීම සිදුවිය යුතු වෙනවා.
යුද හමුදාව අනාගතයේ එන ආහාර සහ පෝෂණ සුරක්ෂිතතා අර්බුදය සහ අභියෝග හඳුනාගෙන ඒ සඳහා යෝජනා ඉදිරිපත් කිරීම පමණක් නොවෙයි, මේ වෙද්දි ඒ සඳහා ව්‍යාපෘති ගණනාවක්ම ක්‍රියාත්මක කරමින් යනවා. එම ව්‍යාපෘති අපි බලාපොරොත්තු වූ මට්ටමට සාර්ථක ප්‍රතිඵල ලබලා තිබෙනවා. මේ යටතේ වසර කිහිපයක සිටම අපි කෘෂිකර්ම පර්යේෂණායතනයේ සහයෝගය ඇතිව යුද හමුදාවට අයත් ගොවිපළවල් තුළ දේශීය වශයෙන් දෙමුහුන් බීජ නිෂ්පාදන ව්‍යාපෘති කිහිපයක්ම සිදුකරමින් යනවා. ඒ අනුව මැණික්ෆාම් සහ වෙල්ලම්කුලම් ගොවිපළ වල නව දෙමුහුන් බඩඉරිඟු බීජ විශේෂයක් (MICH Hybrid) නිෂ්පාදනය කෙරෙනවා. ඒ වගේම ගල්කිරියාගම ගොවිපොළේ මිරිස් බීජ ව්‍යාපෘතියක් සහ ඊට අමතරව අල්ලකන්තලේ, කන්දකාඩු, කුට්ටිගල පිහිටි ගොවිපළ වල දේශීය වී බීජ නිෂ්පාදන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරනවා.
ඒ වගේම කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සමග එක්වෙලා දිගුකාලීන සහ කෙටිකාලීන භෝග වගා ව්‍යාපෘති ක්‍රියාත්මක කරනවා. ඒ යටතේ අඹ, අන්නාසි, දෙළුම්, දොඩම් වැනි ආහාර භෝග කිහිපයක්ම යුද හමුදාවේ ගොවිපළ තුළ වගා වෙනවා. මේ වගා කටයුතු බහුතරයකටම යොදා ගැනෙන්නේ පුනර්ජනනීය බලශක්ති ක්‍රමවේද වීම තවත් විශේෂයක්. උදාහරණයක් විදියට කන්දකඩුව යුද හමුදා ගොවිපොළ පෙන්වා දෙන්න පුළුවන් (කන්දකඩුව ගොවිපළ පිළිබඳ විශේෂාංග ලිපියක් %අද^ මීට පෙර දිනක ගෙන ආවෙමු). ඒ වගේම අපගේ සුවිශේෂී ව්‍යාපෘතියක් වන වකුගඩු රෝගයට පිළියමක් වන සහ සෞඛ්‍යයට හිතකර පෝෂණ ආදේශකයක් වන ස්පිරුලිනා ඇල්ගී වගා ව්‍යාපෘතිය සාර්ථකව සිදුකරමින් යනවා. මේ වෙද්දි ස්පිරුලිනා වියළි කුඩු, ස්පිරුලිනා සහ සුවදැල් වැනි දේශීය සහල් යොදා නිෂ්පාදනය කරන බිස්කට් යුද හමුදාව තුළ ප්‍රචලිත කරලා තිබෙනවා. ඉදිරියේදී ඒවා ජනතාව අතරට ගෙන එන්නත් අවශ්‍ය කටයුතු සිදුකරමින් යනවා.
ඒ වගේම උතුරු නැගෙනහිර කෘෂිකර්මාන්තයේ නියැළෙන සහ ඒ සඳහා උනන්දුවක් තිබෙන සිවිල් ජනතාවට මාස තුනක කෘෂිකාර්මික පාඨමාලාවන් පවත්වලා ඔවුන්ට අවශ්‍ය නව දැනුම අාහාර සහ දෛනික දීමනාවක් සමග ලබාදුන්නා. ස්වයං රැකියාවක් ලෙස කෘෂිකර්මයට යොමුවන පිරිස්වලටත් හොඳ පදනමක් ලබාදීම එමගින් සිදුවුණා. ඒ විතරක් නොවෙයි හමුදා සේවයේ නියුතු කෘෂිකර්මය සඳහා උනන්දුවක් දක්වන පිරිස්වලටත් කෘෂිකර්ම පාඨමාලා පවත්වලා හමුදාවෙන් ඉවත් වීමෙන් පසුවත් ශක්තිමත් ආර්ථිකයක් ගොඩනගා ගැනීමට සහාය ලබාදීලා තිබෙනවා. ඒ වගේම යුද හමුදාව විසින් මේ වන විට කෘෂි වනවගා ව්‍යාපෘති ගණනාවක්ම සිදුකර තිබෙනවා වගේම සිදුකරමින් යනවා. ජල විදුලි බලාගාර ආශ්‍රිතව තිබෙන ජල පෝෂක ප්‍රදේශවල වනවැස්ම අඩුවීම එම ප්‍රදේශවලට වර්ෂාව අඩු වීමට හේතුවෙලා තිබෙනවා. ඒ නිසා යුද හමුදාව මේ වන විට එම ජල පෝෂක ප්‍රදේශ ආශ්‍රිතව වනවගා ව්‍යාපෘති සිදුකරමින් වනවැස්ම ව්‍යාප්ත කරන්න කටයුතු කරමින් සිටිනවා. ඒ වගේම යුද හමුදාපතිතුමාගේ මගපෙන්වීම මත වැව් සංරක්ෂණය කිරීමටත් යුද හමුදාව කටයුතු කරමින් යනවා. කෘෂිකර්මය පිළිබඳ න්‍යායාත්මක සහ ප්‍රායෝගික අත්දැකීම් සහ දැනුම ලබාගන්න කැමති පාසල්වලටත් හැකියාව තිබෙනවා අප සමග ඒ සඳහා එක්වෙන්න. මේ ආකාරයෙන් ස්ථිරසාර විසඳුම් යෙදීම මගින් රටේ ආහාර සහ පෝෂණ සුරක්ෂිතතාව ඇති කිරීමට අපිට හැකියාව තිබෙනවා.
විශේෂ ස්තුතිය - යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිෙග්ඩියර් සුමිත් අතපත්තු මහතාට
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd