අපගේ සිරුරේ පවතින අවයව අතරින් අප වැදගත් ස්ථානයක් ලබාදෙනුයේ හදවතටය. මේ හේතුවෙන් අපි හෘදයාබාධ සම්බන්ධයෙන් වැඩි වශයෙන් දැනුවත්ව සිටිමු. හෘදයාබාධ ඇතිවන අන්දමටම අපගේ ශරීරයේ තවත් එක් වැදගත්ම අවයවයක් වන මොළයට, රුධිරය රැගෙන යන නාළයක් අවහිර වීමෙන් හෝ රුධිර නාළයක් පුපුරා යෑමෙන් ඇතිවන ආඝාතමය තත්ත්වය හේතුවෙන් එම මොහොතේම එම තත්ත්වයට මුහුණ දෙන්නන්ගෙන් 09%ක් මියයන බව ඔබ දන්නවාද? එසේම එම තත්ත්වයට මුහුණ දෙන අයගෙන් 16%ක් මුල් මාස 03 තුළ මියයයි. රෝගයට ගොදුරු වන 55%ක් ආබාධිත තත්ත්වයට පත්වෙන අතර, 45%ක් සම්පූර්ණ සුවය ලබයි. මෙම රෝගය 90%ක්ම වළක්වාගත හැකි තත්ත්වයක් වන අතර, පුද්ගලයන් මෙම රෝගය පිළිබඳ නොදැනුවත් වීම හේතුවෙන් මෙලෙස අවාසනාවන්ත තත්ත්ව වාර්තා වෙයි. මේ හේතුවෙන් සෑම වසරකම ඔක්තෝබර් 29 වැනිදා ලෝක ආඝාත දිනය ලෙස නම් කර රෝගය පිළිබඳ ප්‍රජාව දැනුවත් කිරීම සිදුකෙරේ.
මොළයේ එක් ප්‍රදේශයකට හදිසියේම රුධිරය සැපයුම අඩාළ වීමෙන් එම ප්‍රදේශයට අවශ්‍ය ඔක්සිජන් සහ අනෙකුත් පෝෂ්‍ය පදාර්ථ නොලැබී ගොස් ස්නායු සෛල මියයෑම නිසා ඇතිවන හදිසි රෝග තත්ත්වයක් ලෙස ආඝාතය සරලව හඳුන්වා දිය හැකිය. ලොව සෑම වර්ෂයකම පුද්ගලයන් මිලියන 17ක් ආඝාතයට ගොදුරු වන අතර, ඉන් මිලියන 6.5ක්ම මියයන බව වාර්තා වේ. මෙරට රෝහල්ගත මරණ අතරින් තෙවැනි තැන ගන්නේද ආඝාත මරණයි. මෙරට සෑම පුද්ගලයන් සියදෙනෙකු අතරින් එක් අයෙකු ආඝාත රෝගීන් ලෙස හඳුනා ගැනෙන අතර, සාමාන්‍යයෙන් මෙම රෝගයට බහුලව ගොදුරු වන්නේ වයස 50 - 80ත් අතර පුද්ගලයන් බව සඳහන් කළ හැකිය. නමුත් ඕනෑම වයසක සිටින පුද්ගලයෙකු මෙම රෝගී තත්ත්වයට ගොදුරු වී ජීවිතක්ෂයට පත්වීමට හෝ තාවකාලික හෝ සදාකාලිකව ආබාධිත තත්ත්වයට පත්වීමට ඉඩකඩ පවතී. ආඝාත රෝගයට බොහෝ දෙනා ලක්වන්නේ රුධිර නාළ අවහිර වීම හේතුවෙනි. ලේ කැටියක් නහරයක හිරවීම නිසා මොළයට ලේ ගමන් කිරීම අවහිර වීමෙන් මොළයේ සෛල මියයෑම මෙහිදී සිදුවෙයි. එසේම මොළය තුළ ලේ නහරයක් පිපිරීම නිසාද ආඝාතය ඇතිවිය හැකිය.
ආඝාතමය තත්ත්වයක් ඇතිවී ඇත්නම් එය මෙසේ හඳුනාගත හැකිය.
හදිසියේ ඇතිවන තද හිසරදය
හදිසියේ ඇතිවන ගිලීමේ අපහසුතාව
හදිසියේ ඇතිවන පෙනීමේ වෙනස්කමක්
හදිසියේ ඇතිවන ශරීරයේ එක් පැත්තක පණ නැති වීමක් හෝ දැනීමේ වෙනස්කමක්
හදිසියේ ඇතිවන ඇවිදීමේ අපහසුතාවක්, කැරකැවිල්ල සහ සමතුලිතතාවේ වෙනස්කමක්
ආඝාත රෝගයේ ලක්ෂණ සුළු වේලාවක්, එනම් මිනිත්තු කිහිපයක් හෝ පැය කිහිපයක් පැවැතිය හැකි අතර, මෙය 'පුංචි ආඝාතය' ලෙස හඳුන්වනු ලැබේ. මෙම තත්ත්වය පැය 24ක් තුළ සම්පූර්ණයෙන් සුව වුවද, ආඝාතමය තත්ත්වයක් යළි ඇති වීමට හේතු විය හැකිය.
ආඝාත රෝග ලක්ෂණ ඉක්මනින්ම හඳුනා ගැනීම අතිශයින් වැදගත් වන අතර, ඉතා ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාරවලට යොමුවීමෙන් ජීවිත බේරා ගැනීමටත්, ආබාධිත තත්ත්වයට පත්වීම අවම කරගැනීමටත් හැකිය. මේ නිසා ක්ෂණිකව සිතා ක්ෂණිකව තීරණ ගැනීම ඉතා වැදගත් වේ. මේ ආඝාත තත්ත්වයකදී ක්‍රියාත්මක වීම සඳහා ඔබට වැදගත් වන්නා වූ පියවර සතරකි. එය 'FAST' ලෙස හඳුන්වාදී ඇත.
FACE- සිනහ වෙන්න - මුඛය ඇද වේ නම්, (මුහුණේ පැත්තක් පණ නැතිවී මුඛය පැත්තකට ඇදවීම)
ARMS- අත ඔසවන්න - අත පණ නැති වේ නම්, ( එක් අතක් හෝ කකුලක් පණ නැති වීම)
SPEECH- කතා කරන්න - වචන පැටලේ නම්, (කතාවේ වෙනසක්, කතාව පැටලීම, ඔබ කියන දෙය රෝගියාට තේරුම් ගැනීමට නොහැකිද?)
TIME- එසේ නම්, පමානොවී වහාම රෝහලට රැගෙන යන්න.
ආඝාතයට හේතු
අධික රුධිර පීඩනය
ලේවල අධික මේදය
දියවැඩියාව
තරබාරුකම
හද ගැස්මේ අසාමාන්‍යතාවන්
දුම්පානය
ශාරීරික ව්‍යායාම මදිකම
අධික මත්පැන් පානය
සෞඛ්‍යය සම්පන්න නොවන ආහාර රටාවන්
අවුරුදු 65ට වැඩි අයෙකු වීම
පවුලේ ළඟම ලේ ඥාතියෙකුට ආඝාතය සෑදී තිබීම
මීට පෙර 'පුංචි ආඝාතය' සෑදී තිබීම
ආඝාත රෝගයට පත් වූ රෝගියෙකු රෝහල්ගත කිරීමේදී සෑම විටම විශේෂඥ ස්නායු වෛද්‍යවරයෙකු සිටින රෝහලක් වීම ඉතා වැදගත්ය. එනම් කොළඹ ජාතික රෝහල, සියලුම ශික්ෂණ රෝහල් (රාගම, කළුබෝවිල, ශ්‍රී ජයවර්ධනපුර, මහනුවර, පේරාදෙණිය, කරාපිටිය, යාපනය, අනුරාධපුර සහ මඩකලපුව)
සියලුම පළාත් මහ රෝහල් (කුරුණෑගල, රත්නපුර, බදුල්ල, මාතර හා කළුතර)
කායික වෛද්‍ය විශේෂඥ සේවාවන් ඇති බොහෝ මූලික රෝහල්
දිවයින පුරා ඇති බොහෝ පෞද්ගලික රෝහල්
ශ්‍රී ලංකා ජාතික ආඝාත සංගමයේ සභාපති ස්නායු රෝග විශේෂඥ වෛද්‍ය එම්. ටී. එම්. රිෆ්සි,
'ලෝකයේ සෑම පුද්ගලයන් හැටදෙනෙකු අතරින් දසදෙනෙකුම ආඝාත රෝගීන් ලෙස හඳුනා ගැනෙනවා. ඒ නිසා අපේ යුතුකම වන්නේ මේ රෝගය පිළිබඳ ජනතාව දැනුවත් කරලා රෝගියෙකු ඉතා ඉක්මනින් රෝහලක් කරා රැගෙන යෑමට අවශ්‍ය පහසුකම් සලසා දීමයි. යම් අයෙකුට පපුවේ අමාරුවක් හැදුනොත් ඉතා ඉක්මනින් රෝහලකට ගෙනයා යුතු බව අපි දන්නවා. නමුත් ආඝාත රෝගියෙකු රෝහල කරා රැගෙන ඒම සිදුවෙන්නෙ ඉතා ප්රමාදවයි. එයට හේතුව තමයි ආඝාතයට වේදනාවක් නැති එක. ආඝාත රෝගීන් 25%ක් මරණයට පත්වන්නේ රෝහලට ගෙන ඒම ප්‍රමාද වීම නිසයි. ඒ නිසාම %FAST^ කියන පියවර හතර මිනිසුන් දැනගෙන සිටීම ඉතා වැදගත්. අපේ මොළයේ බර ශරීරයේ බරෙන් 02෴ක් පමණ වෙනවා. නමුත් හෘදයෙන් පිටවෙන රුධිරයෙන් 20%ක්ම යන්නේ මොළයට. ඒ කියන්නේ මොළයට රුධිරය යෑම අවහිර වුවහොත් සිදුවන හානිය ඉතා වැඩියි. කකුලක නහරයක් ගැටගහලා පැයක පමණ ශල්‍යකර්මයක් කළත් කකුල ජීවත් වෙනවා. නමුත් මොළය එලෙස ජීවත් වන්නේ නැහැ. ඒ නිසා ඔබ වහාම රෝගියාව රැගෙන ආවොත් රෝගියාගේ මොළය බේරාගත හැකියි.'
ජාතික රෝහලේ ස්නායු රෝග විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න,
'ආඝාතය කියලා හඳුනාගන්නේ මොළයට රුධිරය සපයන නාළයක් අවහිර වීම හෝ පුපුරා යෑම නිසා මොළයේ කොටසකට සිදුවන බලපෑමකින් ඇතිකෙරෙන රෝග ලක්ෂණ සමූහයකටයි. මොළයේ සෛලවලට විනාඩි 05ක් වත් රුධිරය නැතිව තිබෙන්න බැහැ. ඒ අනුව හානිය සිදුවන ස්ථානය අනුව සිදුවන්නේ කුමක්ද කියන එක තීරණය වෙනවා. මෙය ඉතාම බරපතළ තත්ත්වයක් වන්නේ ඉතාම ක්ෂණිකව මේ තත්ත්වයට පත්වීමයි. මෙය ඉතා භයානක රෝගී තත්ත්වයක්. මොකද සැලකිය යුතු පුද්ගලයන් ගණනකට ජීවිතය අහිමි වීමයි. අපේ රටේ ආඝාත රෝගීන් වාර්තා වීමේ ප්‍රවණතාව අනෙක් රටවලට සාපේක්ෂව වැඩි බව සිදුකළ සමීක්ෂණයකින් වාර්තා වුණා. ඒ අනුව මෙය දුර්ලභ තත්ත්වයක් නොවන බව පෙන්නුම් කෙරෙනවා. සෑම දිනකම කොළඹ ජාතික රෝහලට ආඝාත රෝගීන් 04ක් ඇතුළත් වෙනවා. විශේෂයෙන් 30%කට වැඩි රෝගී පිරිසක්ම වයස 60ට වැඩි අය බව අපි දකින තත්ත්වයක්. නමුත් අවුරුදු 45ට අඩු තරුණ රෝගීන් සැලකිය යුතු පිරිසක් අපේ රටෙන් වාර්තා වෙනවා. ආඝාත තත්ත්වයට ගොදුරු වූ රෝගියෙකුගේ තත්ත්වය පිරික්සීමට 'සීටී ස්කෑන්' පරීක්ෂාවක් සිදුකිරීම අනිවාර්යයෙන් සිදුකළ යුතුයි. ඒ නිසා ප්‍රධාන රෝහලක් කරා රෝගියෙකු රැගෙන යෑමත්, හැකි විගස රැගෙන යෑමත් ඉතා වැදගත් වෙනවා.
ලෝක ආඝාත දිනය වෙනුවෙන් මාධ්‍ය දැනුවත් කිරීම සඳහා සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පවත්වන ලද සම්මන්ත්‍රණයක් ඇසුරෙනි.