අලියාට ඇහැ තියලා හැමදාම දිනන්නේ කවුද?
ලෝකයේ දෙවැනි ගැඹුරුම ස්වාභාවික වරාය ත්‍රිකුණාමලය වරායයි. ත්‍රිකුණාමලය වරායේ වැදගත්කම තවත් ඉහළ නංවන්නේ දෙවැනි ලෝක යුද සමයේ චීන වරාය ආශ්‍රිතව ඉදිකරන ලද තෙල් ටැංකි සංකීර්ණයයි. මෙහි ඝන මීටර් 12,500ක ධාරිතාවයෙන් යුතු ටැංකි 102ක් පිහිටා ඇති අතර, දැනට ටැංකි 100 ක් පාවිච්චියට ගත හැකි තත්ත්වයේ පවතියි.
එය ටැංකි 17ක් පහළ සංකීර්ණය ලෙස හා 83ක් ඉහළ සංකීර්ණය ලෙස කොටස් දෙකකින් යුක්ත වන අතර, ඉහළ සංකීර්ණය තුළ දුම්රිය තෙල් ටැංකි සඳහා තෙල් පිරවීමේ පහසුකම්ද පවතී.
මෙම පහළ සංකීර්ණයේ ටැංකි යම් ප්‍රමාණයක් ලංකා ඛනිජ තෙල් සංස්ථාව විසින් භාවිත කරන ලද අතර, ඒවා 2003 වසරේදී ඉන්දියානු තෙල් සමාගමට කුලියට දීමට එවක පැවති ආණ්ඩුව කටයුතු කර තිබුණි.
ත්‍රිකුණාමලයේ තිබෙන මෙම තෙල් ටැංකි ඉන්දියාවට ලබාදීම සංම්බන්ධ කතාබහක් මෙවර කැබිනට් මණ්ඩලයේදී ඇතිවූ අතර එය දුරදිග යන කතාබහක් දක්වාම වර්ධනය විය.
අපි කොහොමද මිනිස්සුන්ට උත්තර දෙන්නේ
අගමැති රනිල් වික්‍රමසිංහ කැබිනට් මණ්ඩලයේදී මෙම කරුණු ප්‍රකාශ කරන විට ඛනිජ තෙල් හා පෙට්‍රෝලියම් වායු පිළිබඳ අමාත්‍ය චන්දිම වීරක්කොඩි එයට එක්වෙමින් කියා සිටියේ ''තෙල් ටැංකි සියල්ලම ලබාදෙනවාට අපි විරුද්ධයි. ලංකාවට තෙල් ටැංකි 15යි, ඉන්දියාවට 15යි දෙමු. ඉතුරු ටික අපි දෙගොල්ලොම හවුලෙ කරගෙන යමු.''
නමුත් මෙම යෝජනාවට අගමැතිවරයා එතරම් කැමැත්තක් නොදැක්වූ අතර, ඉන්දීය අගමැති මෝදි මැයි මාසයේදී ලංකාවට පැමිණෙන බැවින් හදිසියේ මෙවැනි තීරණයක් ගැනීම උචිත නොවන බවද කියන්නට විය. එහිදී අගමැති රනිල් වික්‍රමසිංහට සම්පූර්ණයෙන්ම විරුද්ධ වෙමින් ක්‍රීඩා ඇමති දයාසිරි ජයසේකර කතා කරන්නට විය.
''අපි කොහොමද එහෙම කරන්නේ. මේවා ගැන කෝප් එකේ කතා කරනවා. අපි මිනිස්සු ඉස්සරහට ගිහින් උත්තර දෙන්න වෙනවා. ඒ නිසා මේවට එකඟ වෙන්න අමාරුයි.''
එසේ කියනවාත් සමගම අගමැති රනිල්ගේ ඉවසීමේ සීමාව ඉක්මවා යමින් කතා කරන්නට විය.
''මේවා හැමදේම කියලා ආණ්ඩු කරන්න බැහැ. මහින්ද රාජපක්ෂලාත් එක්ක ඉන්න අය තමයි ඔහොම කියන්නේ. නැහැ අපි මේක කරනවා. එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්තිය ඉන්දියාව සමග හොඳ මිත්‍රත්වයක් තබා ගැනීම. ඒ නිසා අපි මේක කරනවා* යනුවෙන් උද්වේගයෙන් කියන්නට විය.
එයට එක්වෙමින් සෞඛ්‍ය අමැති රාජිත ද කියන්නට වූයේ ''තමුන්නාන්සේ මහජන මතය ගැන කතා කරන්න එපා. ඔය වගේම තමයි 13 සංශෝධනය ගෙනෙද්දිත් ඔය වගේම කෑගැහුවා. ඊළම කියලා කෑගහපු අය පළාත් සභාවේ වාඩි උනා. මාව මරන්න හිටපු කෙනෙකුත් පළාත් සභාවේ වාඩි වුණානේ. ඒ නිසා ඕවා කතා කරන්න එන්න එපා.''
මේ සියලුම අදහස්වලින් පසුව අගමැති රනිල් නැවත කතා කරන්නට විය.
''ආවේගකාරී වෙන්නෙ නැතුව අපි තීන්දු තීරණ ගන්න අවශ්‍යයයි. රට රටවල් අතර මිත්‍රත්වය නැතිකරගෙන වැඩ කරන්න හොඳ නැහැ. ඒ නිසා හැමෝම හොඳට හිතලා කතා කරන්න.''
අගමැති එසේ කියනා විට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනද එය අනුමත කරන්නට විය.
මන්ත්‍රීවරුන් හිටපු කාලේ ඩෙංගු වැඩි වුණා
කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුව මෙවර පැවැත්වුණේ පාර්ලිමේන්තු සංකීර්ණයේදීය. සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න එයට සහභාගී වූයේ සති කිහිපයකට පසුවය.
කැබිනට් මාධ්‍ය හමුව ආරම්භයේදී සම කැබිනට් ප්‍රකාශක ගයන්ත කරුණාතිලක කැබිනට් තීරණ දැනුම් දෙන විට ඇමති රාජිතගේ දුරකථනය නාදවන්ට විය.
එම ඇමතුමට පිළිතුරු දෙන්නට යන විට නොදැනීම දුරකථනයේ ස්පීකරය ක්‍රියාත්මක විය.
''හෙලෝ ඇමතිතුමා මම..'' කියා එහා කොනෙන් කියන විට ඇමති රාජිතට කරගන්නට දෙයක් නොමැති විය.
''හා හා පොඩ්ඩක් ඉන්නකෝ'' කියා දුරකථනයේ හඬ අඩුකර ගැනීමට උත්සාහ කළද හදිස්සිය නිසා ඔහුට එය කළ නොහැකි විය.
''ඇමතිතුමා අර වැඩේ හරි'' එහා කොනින්න කියාගෙන යන්නට හදනවිටම,
''ආ ආ.. හරි හරි'' කියමින් රාජිත නැවතත් දුරකථනය සකස්කර ගැනීමට උත්සාහ කළද නොහැකි විය. අනතුරුව අසල සිටි ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල්වරයාගේ උදව්වෙන් දුරකථනය විසන්ධි කළ ඇමති රාජිත සභාව දෙස බැලුවේ කිසිවක් නොවූ පරිද්දෙනි.
පසුව කැබිනට් හමුවට එක්වූ ඇමති රාජිත මාධ්‍යවේදීන්ගේ පළමු ප්රශ්නය සඳහාම දීර්ඝ දේශනාවකින් පිළිතුරු දෙන්නට විය.
මේ දිනවල පැතිර යන උණ රෝග සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් ප්‍රශ්න කරන්නට වූ අතර, ඩෙංගු රෝගය මැඬපැවැත්වීමට සෞඛ්‍ය අමාත්‍යාංශයට නොහැකි බව අමාත්‍යවරයා එහිදී කියන්නට විය.
''ඩෙංගු රෝගය උනත් මේ උණ රෝග වැඩි වෙන්නේ පළාත් පාලන මන්ත්‍රීවරුන් නැති නිසා නේද අමැතිතුමා?''
''ඩෙංගු රෝගය වැඩි උනේ පළාත් පාලන මන්ත්‍රීවරුන් හිටපු කාලේ. ඒක අඩු උනේ 2015 වර්ෂයේ පළාත් පාලන මන්ත්‍රීවරුන් නැති කාලේ. නමුත් ඇත්ත කතාව මන්ත්‍රීවරුන් හිටිය නම් අපිට තිබුණා මන්ත්රීවරුන්ව පාචිච්චි කරන්න ජනතාව දැනුවත් කරන්න. පළාත් පාලන ආයතනවල ඉන්නේ සුළු කාර්යමණ්ඩලයක්''
එයාටත් මොනවා හරි වෙලාද කියලා මිනිස්සු කල්පනා කරනවා ඇති
අපවත් වී වදාළ අමරපුර මහා නිකායේ මහ නායක පූජ්‍ය දවුල්දෙන ඥාණිස්සර හිමියන්ගේ ආදාහන පූජෝත්සවය නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයේදී පැවැත්විණ. ගිහි පැවිදි ප්‍රභූන් සියල්ලම එම ස්ථානට එක්ව සිටියේ නායක හිමියන්ට ගෞරව දැක්වීමටය.
නාහිමියන්ගේ අපවත් වීම වෙනුවෙන් උන්වහන්සේගේ දේහය ගෙන යන මාර්ගය පුරාවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ දැවැන්ත පුවරු සවිකර තිබිණ. මහ නායක හිමියන්ට මහින්ද රාජපක්ෂ පිරිකර පූජාකරන අයුරු එම පුවරුවල ප්‍රදර්ශනය කර තිබුණි. කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙක් ප්‍රශ්න කර සිටියේ මේ සම්බන්ධවය. පිළිතුරු දෙමින් ඇමති රාජිත කියන්නට වූයේ,
''ආ ඇත්තද? දැන් මිනිස්සු දන්නෙ නැහැ කොයි කෙනාද නැතිවෙලා ඉන්නෙ, කවුද කියලා. මිනිස්සු කල්පනා කරනවා ඇති එයාටත් මොනවහරි උනාද කියලා'' යැයි කියනවිට සියල්ලෝම සිනහ වෙන්නට විය.
''මෙම කටවුට් ඉවත් කරන්න ක්‍රියාමාර්ගයක් ගන්නවද ඇමතිතුමා?''
''අනිවාර්යෙන් ගතයුතුයි. නැතිනම් මිනිස්සුන්ට වැරදි පණිවුඩයක් යනවනේ. අපවත්වෙලා තියෙන්නේ අපේ අතිපූජ්‍ය මහ නායක හමුදුරුවෝ. ඉතිං වෙන කට්ටිය පිරිකර පූජාකරන ෆොටෝ දාලා කටවුට් ගහද්දී හිතන්නේ ෂුවර් එකටම මොනවහරි වෙලා කියලා. ඉතිං තේරෙනවනේ දේශපාලනයේ තිබෙන තිරස්චීනභාවය. මරණයක් හරි විකුණන්න පුළුවන්ද කියල බලන්නේ''
කැබිනට් හමුව නිමා කරමින් ඇමති රාජිත එම ස්ථානයෙන් පිටත්ව යන්නට සැරසෙන විට මාධ්‍යවේදියෙක් ඔහු අසලට පැමිණ යමක් අසන්නට විය. ඒ වනවිට සුජීව සේනසිංහ ඇමතිවරයා මාධ්‍ය හමුවේ කතා කරමින් සිටි අතර, මාධ්‍යවේදියා සමග ඇමති රාජිත පසුපසට වී කතා කරන්නට විය.
කතාබහ අතරතුර පසුගිය කාලයේදී දැවැන්ත ප්‍රශ්නවලට මුහුණ දෙන්නට සිදුවූ නිතර නම කියවෙන වෛද්‍යවරයෙකුගේ සිදුවීමක් ඇමතිවරයා මාධ්‍යවේදියාට කියන්නට විය. ඒ වන විට ඇමතිවරයා හමුවට තවත් මාධ්‍යවේදීන් කිහිපදෙනෙක් පැමිණි අතර කතාව රසකරමින් කියන්නට විය.
එම වෛද්‍යවරයා තමන්ට සිදුව ඇති අසරණභාවය කියන්නට ඇමතිවරයකුගේ නිවසට ගොස් එම ඇමතිවරයාට දණ ගසා වැඳ ඇති බව රාජිත ඇමතිවරයා කියන්නට වූයේ අසල සිටි මාධ්‍යවේදියෙකුට වැඳ එය රඟපා පෙන්වමිනි. නමුත් ඈතින් සිටි පුද්ගලයන් මේ කිසිවක් නොදැන සිටි අතර, මාධ්‍යවේදියකුට ඇමති වැන්දේ ඇයිදැයි කුතුහලයෙන් බලා සිටින්නට විය.
මම කරන්නේ ජනතා නියෝජිතයෙකුගේ වගකීම
ආණමඩුව සමූපකාර ඡන්ද විමසීම පැවැත්වුණේ පසුගිය සතියේය. සනත් නිශාන්ත මන්ත්‍රීවරයාද ආණමඩුව ඡන්දපොළ වෙත පැමිණ සිටියේ ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායමක් වෙත සහය පළ කිරීම සඳහායි. සනත් නිශාන්තගේ පැමිණීම පිළිබඳ ආණමඩුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක ප්‍රියංකර ජයරත්නද සිටියේ සතුටකින් නොවේ.
මේ වන විට අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර ආණමඩුව කාර්යාලයේ සිට ජනතාව මුණගැසෙමින් ප්‍රදේශයේ පවතින ගැටලු විසඳමින් සිටියේය. පස් හය දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් රංගේ බණ්ඩාර අමාත්‍යවරයා හමුවට හති දමමින් පැමිණියේ මේ අතරතුරය. ඔවුන් සැළකර සිටියේ ආණමඩුව සමූපාකාර ඡන්දයට ඒකාබද්ධ විපක්ෂය අනවශ්‍ය ආකාරයට මැදිහත් වී සිටින බවයි. එමෙන්ම ඡන්ද හිමි නාමලේඛන බලහත්කාරයෙන් වෙනස්කර ඇති බවත්, මේ තත්ත්වය තුළ සැබෑ ඡන්දදායකයන් 600කට පමණ ඡන්ද අයිතිය අහිමිවී ඇති බවත් ඔවුහු පැවසූහ.
තත්ත්වය වටහාගත් පාලිත රංගේ බණ්ඩාර සියලු වැඩ පසෙක දමා සමූපාකාර ඡන්දපොළ බලා පිටත්ව යන්නට විය. කුමක්දැයි සිදුවන්නේයි, ඡන්දපොළ නිලධාරියාගෙන් විමසුවද කිසිදු පිළිතුරක් නොලැබුණේය. සමූපාකාර ඡන්දය වඩාත් සාධාරණව සිදුවිය යුතු බවත්, එම අරමුණ මත පදනම්ව එක්සත් ජාතික පක්ෂයෙන් වෙනම කණ්ඩායමක් ඉදිරිපත් කිරීමට පවා කටයුතු නොකළ බවත් අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මෙහිදී ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන්නට විය.
මේ අවස්ථාවේ ඡන්දපොළ භාර ප්‍රධාන නිලධාරීවරයා අමාත්‍යවරයා වෙත සැළකර සිටියේ මෙම ඡන්ද විමසීම අසාධාරණ බවයි. මෙම ඡන්දය වහාම අවලංගු කරන්නැයි තමන් සමූපාකාර කොමසාරිස්වරයා වෙත ලිඛිතව දැන්වීමට පියවර ගත් බවත් ඡන්දපොළ ප්‍රධාන නිලධාරීවරයා කියා සිටියේය.
තත්ත්වය වඩාත් උණුසුම් වූයේ ඉන් අනතුරුවයි. අනුන්ගේ මැතිවරණ කොට්ඨාසවලට පැමිණ අනවශ්‍ය ආකාරයෙන් මැදිහත් වන්නේ කෙසේදැයි රංගේ බණ්ඩාර අමාත්‍යවරයා සනත් නිශාන්ත මන්ත්‍රීවරයාගෙන් විමසුවේය. එම අවස්ථාවේ සනත් නිශාන්ත මන්ත්‍රීවරයාද කේන්තියෙන් යුතුව කියා සිටියේ මෙවැනි ආකාරයෙන් කටයුතු කිරීම ජනතා නියෝජිතයෙකුගේ වගකීමක් බවයි. එහෙත් ඡන්ද හිමි නාමලේඛන පවා වෙනස් කිරීමට බලය ලබාදුන්නේ කවුරුන්දැයි පාලිත රංගේ බණ්ඩාර මහතාගෙන් විමසීය.
''ආණමඩුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායකවරයා වන ප්‍රියංකර ජයරත්න මහතා මෙයට යම් ආකාරයක මැදිහත්වීමක් දැක්වූයේ නම් එය ඉවසා සිටිය හැකියි. එහෙත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය පවා අවලංගු කර ඇති පුද්ගලයන් මෙවැනි කටයුතු වලට නීති විරෝධීව මැදිහත් වෙමින් කටයුතු කිරීම සංවර්ධන ක්‍රියාවලියට දැඩි බලපෑමක්'' බවත් අමාත්‍යවරයා දිගින් දිගටම කියන්නට විය.
කෙසේවෙතත් මේ වන විට ආණමඩුව සමූපකාර ඡන්දය දූෂිතව පැවති බවට එල්ලවූ චෝදනාවන්ට අදාළව පොලීසියද පරීක්ෂණ සිදුකරයි. කූඨ ලේඛන සකස් කිරීම ඇතුළු චෝදනා ඒ සම්බන්ධයෙන් එල්ල චෝදනා වී තිබේ.
දැන් ටොප් ටෙන් ඉලවන්
ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී මහින්දාන්ද අලුත්ගමගේ 2008දී ලන්ඩනයේදී නිවසක් මිලදී ගත් බවට රංජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී චෝදනා කළ අතර, එහිදී රංජන් රාමනායක, එජාප මන්ත්‍රී ආනන්ද අලුත්ගමගේ, එ.ජා.ප. මන්ත්‍රී නලින් බණ්ඩාර, එ.ජ.නි.ස. මන්ත්‍රී වාසුදේව නානායක්කාර යන මහත්වරුන් අතර උණුසුම්කාරී වචන හුවමාරුවක් සිදුවිය.
රන්ජන් රාමනායක - මට අද එද්දී ලිපිගොනුවක් ලැබුණා. මේක මම සභාගත කරනවා. ලන්ඩන්වලදී 2008 සැප්තැම්බර් 09 වැනිදා මෙම නිවස මිලදී ගෙන තිබෙන්නෙ ස්ටර්ලින් පවුම් 320,000කට. ලිපිනය ස්කිල්ස් ක්‍රවුන් හෝම් ලිමිටඩ් කියලා සඳහන් වෙනවා. මේක අරන් තියෙන පුද්ගලයාගේ නම ලෙස අඹන්පොළ ආශා විජයන්ති අලුත්ගමගේ සහ තවත් අලුත්ගමගේ නමක් තිබෙනවා. මේ ලන්ඩන් නිවස අරගත්තු අලුත්ගමගේ කවුද කියලා මම හරියට දන්නෑ. සමහර විට අපේ පක්ෂයේ කෙනෙක් වෙන්න පුළුවන්. ඒ නිසා මේ ගැන හොයන්න එෆ්.ඩී.අයි.ඩී. යට, අධිකරණයට බාර දෙනවා.
ආනන්ද අලුත්ගමගේ - ගරු මන්ත්‍රීතුමා අලුත්ගමගේ නම පාවිච්චි කරනවා. අලුත්ගමගේලා කවදාවත් හොරකම් කරලා නැහැ. ඔබතුමා ළඟ ඒ ගැන ලිඛිතව තිබෙනවානම් එය සභාගත කරන්න. ඒ හොරකම් කරපු අලුත්ගමගේ කවුද කියලා කියන්න. අලුත්ගමගේලා පරම්පරාවක් දේශපාලනය කරලා තිබෙනවා. කවුරුවත් හොරකම් කරලා නැහැ. මම අලුත්ගමගේ වුණාට අපි ඒවට සම්බන්ධ නැහැ.
රන්ජන් රාමනායක - මන්ත්‍රීතුමා ප්‍රකාශයක් කරනවා අලුත්ගමගේලා කවදාවත් හොරකම් කළේ නැහැ කියලා. මට හොරු අල්ලන ඇමති කියලා නමක් දාලාත් තියෙනවා. ජනතාව මගෙන් බලාපොරොත්තු වෙන්නෙත් ඒකයි. මම ඕනෑම විවාදයකට, සංවාදයකට විවෘතයි. මගේ මේ වාර්තාව අනුව මම සැකකරනවා මේ අලුත්ගමගේද දන්නෑ. ලන්ඩන් මේ නිවස පවුම් 470,000කට පසුව විකුණා තිබෙනවා. මෙවැනි දේවල් සොයාබැලිය යුතුයි.
ලංකාවට මෙවැනි තත්ත්වයක් ඇතිවී තිබෙන්නෙ පාර්ලිමේන්තුවට එද්දී ඉතාම සාමාන්‍ය ජීවිත ගතකරපු මෙවැනි පුද්ගලයෝ අද කෝටි ගණන්වලට තමන්ගේ බිරිඳගේ සහ තමන්ගේ නමින් දේපොළ මිලදී ගන්න නිසයි. මේ අහුවුණේ එකයි. මේ ගැන සෙවීම, කතා කිරීම, මේ ගැන අනාවරණය කරලා ජනතාවට කීම එකදිගට යන්න ඕන. ටොප්ටෙන් එකට අපි කැමතියි. ඒවගේ දේවල් වෙන්න ඕන. කොහෙන් හරි හොරු අල්ලද්දී ප්රතිලාභ ලැබෙන්නෙ ජනතාවට.
මේ අය හොරකම් කරලා තියෙන්නෙ ජනතාවගේ මුදල්. මම මේ වාර්තා සභාගත කරනවා. අද ලංකාවේ නැති වුණාට එංගලන්තයේ මේවගේ ක්‍රමයක් තිබෙනවා. එංගලන්තයේ ඉඩම් අමාත්‍යාංශයට පවුමක් ගෙවලා මට මේක කරලා දුන්නෙ අපේ එහේ ඉන්න අනුර හෑගොඩ කියන මගේ මිත්‍ර නීතිඥතුමා. සියලුම ඩොකියුමන්ට් අපිට ලබාදීලා තිබෙනවා. ඒ හින්දා එෆ්.සී.අයි.ඩී.,සී.අයි.ඩී., බ්‍රයිබරි කොමිෂන් කියන ආයතනවලට මේ නිවෙස් ගැන, වතුපිටි ගැන, ඇපල් වතුගැන, පැනමා පේපර්ස් ගැන හොයලා බලන්න කියා මම යෝජනා කරනවා.
නලින් බණ්ඩාර - ඔබතුමා කවුරු ගැනද කතා කරන්නෙ කියලා අපිට තේරෙනවා. පසුගිය දවස්වල අපි නිතරම දැක්කා එතුමා ටොප්ටෙන් ගැන කතාකරනවා. ටොප්ටෙන් ගැන කතා කරන්නෙ විපක්ෂයේ ඉන්න අලුත්ගමගේ. ආණ්ඩු පක්ෂයේ ඉන්න අලුත්ගමගේ නෙවෙයි. එතකොට එතුමා ටොප්ටෙන් එකට අහුවෙනවද?
රන්ජන් රාමනායක - ඇත්ටම ටොප්ටෙන් ඉලවන් කියලා මේකට දාන්න පුළුවන්. මට දැන් ලැබුණා අලුත් නම. අඹන්පොළගේ ආශා විජයන්ති අලුත්ගමගේ සහ මහින්දානන්ද අලුත්ගමගේ. ගරු මන්ත්‍රීතුමා මේ ඔබතුමාගේ ඥාති සොහොයුරාද?
ආනන්ද අලුත්ගමගේ - මෙතුමා දිගින් දිගටම අලුත්ගමගේ කියන නම මේ ගරු සභාවේ ප්‍රචාරය කරනවා. ලිඛිතව තිබෙනවා නම් ඉදිරිපත් කරන්න. ඉතිහාසයේ එතුමාට ඔය කියන තරම් දේපොළ තිබුණෙ නැහැ. එතුමාගේ පියාගෙන් අක්කර පහක්වත් එතුමාට තිබුණෙ නැහැ. එහෙම තිබෙනවා නම් මම මේ ගරු සභාවෙන් ඉල්ලා අස්වෙනවා. මේවා ඔක්කොම හොරකම් කරලා ගත්තු දේවල්.
වාසුදේව නානායක්කාර - මම රීති ප්‍රශ්නයක් මතු කරන්න කැමතියි. විවිධ අයතා කටයුතු සම්බන්ධව හෙළිදරව් කිරීමට දරන උත්සාහය ගැන ගරු රන්ජන් රාමනායක මන්ත්‍රීතුමාට මගේ ප්‍රශංසාව පුද කරනවා. ඒ ගැන කිසිසේත්ම මගේ අඩු තක්සේරුවක් නැහැ. නමුත් අපේ මන්ත්‍රීවරයෙකුගේ චරිතය ගැන, ඔහුගේ අයතා ගනුදෙනු පිළිබඳව සඳහනක් කරනවානම් ඒකට එතුමාට පිළිතුරු දෙන්න පුළුවන් විදියට කරන්න. නැත්නම් ඒ පිළිබඳව යෝජනාවක් ගේන්න.
රන්ජන් රාමනායක - එතුමාට අවස්ථාවක් තිබෙනවා මේ ගැන කරුණු ඉදිරිපත් කරන්න. එංගලන්තයේ ආණ්ඩු කවදාවත් පවුමක් ගෙව්වාම ප්‍රෝඩාකාරී විදියට සාවද්‍ය ලිපි ලේඛන ඉදිරිපත් කරන්නෑ. ඊළඟ පාර්ලිමේන්තු දවසේ මේ කියන ගේ එතුමාට අයිතිද නැද්ද කියලා කරුණු ඉදිරිපත් කරන්න පුළුවන්.
කොරිඩෝවේ රහස් කතා
පාර්ලිමේන්තුවේ කොරිඩෝවේදී මලික් සමරවික්‍රම, මහින්ද අමරවීර ඇමතිවරුන් මුහුණට මුහුණ මුණගැසුණි. මුලින්ම කතාව පටන්ගත්තේ මහින්ද අමරවීර ඇමතිවරයායි.
''සර් කොහොමද?''
''ආ හොඳින්.. කොහොමද?'' යනුවෙන් පිළිතුරු දෙමින් දෙදෙනාම රටේ ප්‍රශ්න සහ ආණ්ඩුවේ ප්‍රශ්න ගැන කතා කරන්නට විය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැයි දින සැමරුම පිළිබඳ මල්වතු අස්ගිරි මහ නායක හිමිවරුන් දැනුවත් කිරීමට ගිය අවස්ථාවේ සිදුවූ සිදුවීම් පිළිබඳ ඇමති අමරවීර ඇමති මලික්ට කියන්නට විය.
කෙසේවෙතත් කුමන ප්‍රශ්න තිබුණද ආණ්ඩුව ඒ සියල්ල විසඳාගෙන ඉදිරියට යා යුතු බව එහිදී දෙදෙනාම අනුමත කරන්නට වූ අතර, එම සාකච්ඡාව බොහෝ වෙලාවක් සිදුවිය.
ඒ අවස්ථාවේදී ගාමිණී ලොකුගේ ඇතුළු ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රීවරුන් කිහිපදෙනක්ම ඒ අසලින් ගමන් කළ අතර, ඔවුන් පුදුමයෙන් මෙන් එදෙස බලන්නට විය. ඒ සියල්ලටම මහින්ද අමරවීර අත වනමින් දෙදෙනාගේ කතාබහ කරගෙන ගියේ රහස් කතාකරන ආකාරයෙනි.
තනතුරු මාරුවට මම නම් එකඟ නැහැ
පාර්ලිමේන්තුවේ මාධ්‍යවේදීන්ගේ භෝජනාගාරයෙන් මාධ්‍යවේදීන් පිටතට පැමිණෙන විට තුෂාර ඉදුනිල් අමරසේන මන්ත්‍රීවරයා ඒ දෙසට පැමිණෙමින් සිටි අතර, මාධ්‍යවේදීන් ඔහු සමග කතාබහක නිරත වන්නට විය.
ඊට මඳ වේලාවකට පසුව බන්දුල ලාල් බණ්ඩාරිගොඩ, වඩිවෙල් සුරේෂ්, සන්දීත් සමරසිංහ මන්ත්‍රීවරුන්ගේ භෝජනාගාරයේ සිට ඒ දෙසට එනු දැක කතාව වෙනස් කරමින් තුෂාර මන්ත්‍රීවරයා,
''පක්ෂයේ තතතුරු මාරුවලට මම නම් එකඟ නැහැ''
කියමින් විහිළුවට කියන්නට විය. එය ඇසුණු මන්ත්‍රීවරුන් තිදෙනාද එතැනට පැමිණෙමින්,
''ආ එහෙමද?''
''මොකද්ද වෙන්නේ කියල අපි කවුරුත් දන්නෙ නැහැ. බලන්නකෝ මන්ත්‍රීතුමා පක්ෂයේ බරපතළ කාරණා ගැනනේ මාධ්‍යවේදීන් එක්ක කතා කරන්නේ. අපිට නම් බයේ බැහැ''
කියා කියූ විට හැමෝම සිනාසෙන්නට වූයේ කාරණය දැන සිටි බැවිනි.
මම ආවොත් මිනිස්සු මොනවා නොහිතයිද
රූපවාහිනී නාළිකාවක් මන්ත්‍රීවරුන් වෙනුවෙන් වාද්දුවේදී පවත්වනු ලැබූ අවුරුදු උත්සවයකට සහභාගී වීමට පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් සියලුදෙනාටම ආරාධනාකර තිබුණි.
ඒකාබද්ධ විපක්ෂයේ ජොන්ස්ටන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාට ආරාධනා කිරීමේදී ඔහු එය බැහැරකර තිබුණි.
''ආණ්ඩු පක්ෂය එක්ක අපි රණ්ඩු වෙනවා. එහෙම කරද්දී අපි බැලුම් පුපුරවන්න එයාලත් එක්ක ගියොත් මිනිස්සු මොනවා නොහිතයිද? නිකං අනවශ්‍ය ප්‍රශ්න ඇතිවෙන එක විතරයි වෙන්නේ. මට නම් එන්න බැහැ'' යැයි කියන්නට විය.
ඒ සඳහා සහභාගී වීමට නියෝජ්‍ය ඇමති රංජන් රාමනායකට ආරාධනා කිරීමේදී ඔහු කියන්නට වූයේ,
''මම විවේචනය කරන අය ගොඩක් එතනට එනවනේ.. මම එන එක ගැළපෙන්නේ නැහැ... මට එන්න බැහැ'' යනුවෙනි.
රාජ්‍ය ඇමති පාලිත රංගේ බණ්ඩාර ආරාධනාව පිළිගත් බැවින් සනත් නිශාන්ත මන්ත්‍රීවරයාට ආරාධනා නොකර සිටීමට සංවිධායකයෝ තීරණය කළේ දෙදෙනා විරසක බැවිනි.
කෙසේ හෝ සහභාගී වූ මැති ඇමතිවරුන් අතරින් අලියාට ඇස තැබීමේ තරගය මෙවරද ජයගෙන තිබුණේ ගයන්ත කරුණාතිලක ඇමතිවරයායි.
මෙම නාළිකාව සංවිධානය කළ සියලුම අවුරුදු උත්සව වල අලියාට ඇහැ තැබීම ගයන්ත ඇමතිවරයාම ජයගෙන තිබීම පිළිබඳ සියල්ලන්ම කතාබහ කරන්නට විය.
සට්ටැඹිරාළලා සහ ඇට්ටැඹිරාළලා
මෙවර පාර්ලිමේන්තුවේදීද ආශු මාරසිංහ නිදහසේ සිටීම ගැනත්, විමල් සිරගතව සිටීම ගැනත් එජනිස මන්ත්‍රී පද්ම උදය ශාන්ත අදහස් පළ කළේය. අගමැතිවරයා විසින් මාරසිංහ බේරාගෙන ඇතැයි උදය ශාන්ත ප්‍රකාශ කළේය. මෙම අදහසට ආශු මාරසිංහට තරහ ගියේය. මෙහිදී දැඩි ස්වරයෙන් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ තමන් නිර්දෝෂී බවයි. අනතුරුව පද්ම උදය ශාන්ත රජ වාසලක් උදාහරණයට ගනිමින් සට්ටැඹිරාළලා සහ ඇට්ටැඹිරාළලා ගැන පැවසීය.
''උල්පැන් සට්ටැඹිරාළලා හා සිහිල් පැන් සට්ටැඹිරාළ වශයෙන් සට්ටැඹිරාළලා වර්ග දෙකක් රජවාසලේ ඒ කාලේ හිටියා. සට්ටැඹිරාළ කියන්නේ රජුගේ පස්ස හෝදන අය. රජුගේ පස්ස උණුවතුරෙන් හෝදන්න හිටියේ උල්පැන් සට්ටැඹිරාළ. සිහිල් පැන්වලින් හෝදන්න හිටියේ සිහිල් පැන් සට්ටැඹිරාළ. ඒ විතරක් නෙමෙයි මේ අය වගේ ඇට්ටැඹිරාළලාත් හිටියා.
රජවාසලේ වෛද්‍ය සභාවට ඒ කාලේ එක්ස්රේ කිරණ තිබුණේ නැහැ. උදේ පාන්දර රජුගේ මළපහ ටික දිවෙන් රස බලලා රජුගේ වෛද්‍ය සහතිකය ගෙනාවේ ඇට්ටැඹිරාළ. මේ ඉන්නේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ පස්ස හෝදන ඇට්ටැඹිරාළලා'' යනුවෙන් කීවේය. අනතුරුව අදහස් පළ කළේ රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ පසුගිය ආණ්ඩුවේ සිටි සට්ටැඹිරාළලා ගැන කීවේය.
''අපි රාජපක්ෂ පාලන කාලයේදී සට්ටැඹිරාළලා විශාල ප්‍රමාණයක් දැක්කා. ඒ සම්බන්ධව අපිට වෙනම කතා කරන්න විවාදයක් අවශ්‍යයි. සට්ටැඹිරාළලා කොමෙද හිටියේ, කොහොමද ඒ රාජකාරිය කළේ කියල කතා කරන්න අපිට විවාදයක් ගන්න පුළුවන්. හැබැයි සට්ටැඹිරාළලා එහේ වැඩි හින්දා ඒ අයට වෙලාව වැඩිපුර අවශ්‍ය වේවි.
ඒ නිසා පැයක් විතර අපිට දීලා විනාඩි පහක් විතර ඔබතුමාලට දෙන්න වේවි. අපි දැක්කා රාජපක්ෂ මහත්තයාගේ කාලයේදී පාර්ලිමේන්තුවේදී සට්ටැඹිරාළලා වැඩ කරපු ආකාරය. නාමල් බේබි නැගිටිනකොට එහෙන් නැගිටිනවා, සචින් බබා නැගිටිනකොට එහෙන් නැගිටිනවා. ඒ නිසා ඒ සම්බන්ධව අපි කතා නොකර සිටිමු'' යනුවෙන් ඔහු පවසා සිටියේය.
මේ කාරණය ගැන තමුසෙලාට මොනවද තියෙන ප්‍රශ්න?
දොඩම්ගොඩදී රියදුරු බලපත්‍රය නොමැතිව යතුරු පැදියක ගිය බව පවසමින් පාසල් සිසුන් දෙදෙනෙකුට පොලිස් නිලධාරීන් අමානුෂික ලෙස පහර දී තිබුණි.
මෙම සිදුවීම සමාජ ජාල තුළ පැතිර ගිය නිසාවෙන් පොලිස්පතිගේ නියමයෙන් පරීක්ෂණ කර එම පොලිස් නිලධාරීන් දෙදෙනා අත්අඩංගුවට ගත් අතර, මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය සාකච්ඡාවක් පොලිස් මූලස්ථානයේදී කැඳවා තිබුණි.
නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මාධ්‍ය හමුවට සහභාගී වූ අතර, ඔහු එම සිදුවීම පැහැදිලි කිරීමෙන් අනතුරුව එකවරම
''මේ කාරණය ගැන තමුසෙලාට මොනවද තියෙන ප්‍රශ්න'' යනුවෙන් අසන්නට වූයේ සිටිය තැන අමතක වී ගොසිනි. එවිට එහි සිටි මාධ්‍යවේදීන් සියල්ලන්ම සිනහවන්නට වූ අතර, තමා සිටින්නේ මාධ්‍ය සාකච්ඡාවක යැයි ඔහුට මතක් වූයේ එවිටයි.
දියවන්නාරාළ විසිනි
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

