Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 16 වන සඳුදා
2024 දෙසැම්බර් මස 16 වන සඳුදා
කැබිනට් සංශෝධනය සිදුකළ පසු එම අමාත්‍යවරුන් සඳහා විෂයන් බෙදාදෙන ගැසට් පත්‍රය නිකුත් කරන්නේ කවදාද යන්න පිළිබඳව බොහෝ දෙනෙක් අවධානයෙන් පසුවූහ.
අමාත්‍යාංශ වෙනස් වීමෙන් පසුව තමන්ගේ අමාත්‍යාංශයට අනෙකුත් අමාත්‍යාංශයන්හි ආයතන ලබා දෙන්නැයි ඇමතිවරු ඉල්ලා ඇති බවට තොරතුරු පැතිරීම එයට එක් හේතුවක් විය. ලොතරැයි මණ්ඩලය විදේශ අමාත්‍යාංශයට පවරමින්, ජනමාධ්‍ය අමාත්‍යාංශයේද වෙනස්කම් සිදුවෙමින් ගැසට් නිවේදන නිකුත් වූ අතර, එවිට එම කතාබහ තවත් උග්‍රවිය.
පසුගිය කැබිනට් මාධ්‍ය හමුවේදී සම කැබිනට් ප්‍රකාශක ඇමති දයාසිරි ජයසේකර පැවසුවේ ජනාධිපතිවරයා විද්‍යාත්මක ආකාරයට විෂයන් බෙදන බවයි. නමුත් මෙලෙස විෂයන් බෙදාදීම සම්බන්ධයෙන් මෙවර කැබිනට් මාධ්‍ය හමුවේදී උණුසුම් කතාබහක් ඇතිවිය. සම කැබිනට් ප්‍රකාශක ඇමති රාජිත ද එයට එක්විය.
එක එක කයට එක එක විදිහේ සිතුම් පහළ වෙනවා
මාධ්‍යවේදීන් - ලොතරැයි මණ්ඩලය විදේශ අමාත්‍යාංශයට දීම ගැළපෙන්නේ නැහැ නේද?
රාජිත - මට කියන්න මහත්තයා ලොතරැයිය ගැළපෙන්නේ මොකටද කියලා
මාධ්‍යවේදීන් - ඔබතුමා කියන්නේ විදේශ අමාත්‍යාංශයට ගැළපෙනවා කියලද?
රාජිත - නැහැ. මම කියන්නෙ මුදල් අමත්‍යාංශයට ගැළපෙන්නෙ මොකටද කියලා. මොකක් හරි තිබුණා කියලා ඒක ඒ තුළම තියෙන්න අවශ්‍යයි කියලා දෙයක් නැහැනේ.
මාධ්‍යවේදීන් - ලංකාවේ විදේශ අමාත්‍යාංශයට කාර්යභාරයක් තිබෙනවානෙ. ඒකට කොහොමද ලොතරැයි මණ්ඩලය ගැළපෙන්නෙ
රාජිත - ඔබතුමා හිතනවාද මුදල් අමාත්‍යාංශයට ලොතරැයි මණ්ඩලයේ කාර්යභාරයක් තිබෙනවා කියලා.
මාධ්‍යවේදීන් - ඇයි මුදල් සම්බන්ධ ගනුදෙනු
රාජිත - නැහැ. ඒකෙන් නෙවෙයි අය වැය ලේඛනය හදන්නෙ.
මාධ්‍යවේදීන් - නමුත් ගැළපෙන්නේ නැහැනේ ඇමතිතුමා.
රාජිත - ඔබතුමාට ඒක ගැළපෙන්නේ නැති වුණාට අපේ විදේශ ඇමතිතුමාට හිතෙනවා ඇති ඒක ගැළපෙනවා කියලා. 'නානාත්ත කායා නානායත්ත සංඥා' කියලා බුදු හාමුරුවෝ කියලා තියෙනවානෙ. ඒවාගේ එක එක කයට එක එක විදිහේ සිතුම් පහළවෙනවා.
අපි හිතමු විදේශ අමාත්‍යාංශය ලෝක සිතියම් දාලා ලොතරැයියක් ගහනවා. ඒක මුදල් අමාත්‍යාංශයට දෙන්න කියලද කියන්නෙ. ඕනෑම අමාත්‍යාංශයක ලොතරැයියක් තියෙන්න පුළුවන්. 'සෙවණ' තිබුණේ නිවාස අමාත්‍යාංශයේ.
මේවාග් පොඩිදේවල් අල්ල ගන්නෙ මොකටද?
අපිත් ඇඩ්ඩ්‍රස් එක හොයාගමු
වෛද්‍ය ප්‍රතිකාර සඳහා විදෙස්ගතව සිටි අගමැති රනිල් වික්‍රමසිංහ සෙනසුරාදා දිවයිනට පැමිණි අතර, අගමැතිවරයා පිළිගැනීමට එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමතිවරු රැසක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට පැමිණ සිටියහ.
විශේෂ අමුත්න්ගේ පර්යන්තයෙන් දිවයිනට පැමිණි අගමැතිවරයා මුලින්ම පිළිගනු ලැබුවේ සභානායක ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල විසිනි.
තමන්ව පිළිගැනීමට සිටි මැති ඇමතිවරුන් සමග අගමැතිවරයා මුලින්ම කතාබහ කළේ ගංවතුර පිළිබඳවය.
එම ප්‍රදේශවල මැති ඇමතිවරුන් සමග මේ සතිය තුළ සියලුම දිස්ත්‍රික්ක වෙත ගොස් සොයා බලන බවත්, තමන් පැමිණෙන තුරු එම කටයුතු සිදුකළ සියලු දෙනාටම ස්තුතිය පුදකරන බවත් අගමැතිවරයා ප්‍රකාශ කළේය. තමන්ගේ වෛද්‍ය ප්‍රතිකාර පිළිබඳ සඳහන් කරමින් අගමැතිවරයා පැවසුවේ මෙවැන්නකි.
''මම වෛද්‍ය ප්‍රතිකාරවලට ගිය රෝහලේ තිබෙන උපකරණ ලෝකෙ වෙන කොහේවත් නැහැ. මම හිතන්නෙ අපේ අනිත් ඇමතිවරුන්ටත් මන්ත්‍රීවරුන්ටත් එහාට යන්න යම්කිසි ක්‍රමවේදයක් අපි හදන්න ඕන''
අගමැතිවරයා එසේ කියනවිට, ''අපට ඇඩ්ඩ්රිස් එක හොයාගන්න වෙනවා'' යැයි ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල පැවසූ අතර සියල්ලෝම සිනහ වන්නට වූහ.
මේ අතර අගමැති බිරිඳ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ, ඇමති තළතා අතුකෝරළ සමග දීර්ඝ සංවාදයක යෙදී සිටි අතර, ඇය එසේ විමසා තිබුණේද ගංවතුර සහ නයා යාම් ආපදා සම්බන්ධයෙනි. අපහසුතාවට පත් ජනතාව වෙනුවෙන් කනගාටුවද ප්‍රකාශ කළ මහචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ, ඇමති තලාතාට පැවසුවේ එම ජනතාව වෙනුවෙන් හැකි උපරිම දේ සිදුකරමු කියාය.
ආණ්ඩුවක් ඇතුළෙ තවත් ආණ්ඩුවක්
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කැබිනට් මණ්ඩල රැස්වීම අඟහරුවාදා පැවැත්විණි. ශ්‍රී ලංකන් ගුවන් සමාගමට එයාර් A 350-900 පුළුල් බඳ සහිත ගුවන් යානා 03ක් මිලදී ගැනීමේ කල්බදු ගිවිසුම අවලංගු කිරීම පිළිබඳ එහිදී දීර්ඝව සාකච්ඡා විය. මෙහිදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විමසා සිටියේ, මෙම ගුවන් යානා 03 මිලදී ගැනීමෙන් පසු ශ්‍රී ලංකන් ගුවන් සමාගම ලාභ ලබා ඇත්ද යන්නයි.
එවිට අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ, මෙම ගුවන් යානා 03 මිලදී ගැනීම හේතුවෙන් පාඩුවක් ලබන බවත්, එම ගැටලුවට වත්මන් රජයට මුහුණ දීමට සිදුව ඇති බවයි. ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ අධ්යක්ෂ මණ්ඩලය කැබිනට් තීන්දු පවා ක්‍රියාත්මක නොකර අත්තනෝමතික පාලනයක් ගෙන යන බව ඇමති රාජිත සහ ඇමති පාඨලී මෙහිදී පෙන්වා දුන්හ. ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ රැකියා 1250ක් හිතුමතේ ලබාදී ඇති බවත්, පාඩු ලැබීමට එයද හේතුවක් වී ඇති බවත් ඇමති කබීර් හෂීම් සඳහන් කරන්නට විය.
''ගුවන් සමාගමේ අධ්යක්ෂ මණ්ඩලය ගැන අපි හොඳට දන්නවා. මෙම සමාගමේ සේවක සේවිකාවන් යහපාලන රජයට ඡන්දය ලබාදුන්නේ හිටපු ජනාධිපතිවරයාගේ ආර්යාවගේ සහෝදරයා එළවා දමන්නයි. එම සහෝදරයා සමාගම විනාශ කළා. වර්තමානයෙත් සමාගම තුළ සිදුවන්නේ ඥාති සංග්‍රහයක්. ගෝඨාභය රාජපක්ෂ පත්වීම් ලබාදුන් පුද්ගලයන් ශ්‍රී ලංකන් එකේ තවම ඉන්නවා. ආරක්ෂක ප්‍රධානියා ලක්ෂ 04ක් වැටුප් ගන්නවා.
ඔහු හිටපු ආරක්ෂක ලේකම්වරයාගේ නියෝජිතයෙක්. අධ්යක්ෂ මණ්ඩලයත් හිටපු ආරක්ෂක ලේකම්වරයා සමග කටයුතු කරනවා දැයි සැකයක් මතුවෙනවා* යැයි රාජිත දීර්ඝව විස්තර කළේය.
රාජිතගේ අදහස අනුමත කරමින් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාද සඳහන් කළේ, හිටපු ආරක්ෂක ලේකම්වරයාගේ නියෝජිතයන් ගුවන් සමාගමේ හොල්මන් කරන බවයි. මෙම අධ්යක්ෂ මණ්ඩලය හේතුවෙන් ජනතාවගෙන් රජයට බැණුම් ඇසීමට සිදුවනු ඇති බවත්, අධ්යක්ෂ මණ්ඩලය වහාම විසුරුවා හැරීමට තමන් යෝජනා කරන බවත් රාජිත නැවත කියන්නට විය.
එම අධ්යක්ෂ මණ්ඩලය ආණ්ඩුවක් ඇතුළෙ තවත් ආණ්ඩුවක් මෙහෙය වන බවත්, විෂය භාර අමාත්‍යවරයා අවශ්‍ය තීන්දු තීරණ ගත යුතු බවද ඔහු කියන්නට විය.
ඒ පිළිබඳව අදහස් දැක්වූ විෂය භාර අමාත්‍ය කබීර් හෂීම් පැවසුවේ,
''මම කියන දෙයක්වත් අධ්යක්ෂ මණඩලය ක්‍රියාත්මක කරන්නෙ නැහැ'' කියාය.
ශ්‍රී ලංකන් ගුවන් සමාගම 'එමිරේට්ස්' ගුවන් සමාගම විසින් මිලදී ගැනීමට යෝජනා කර ඇති බවත්, කෙසේ වෙතත් සමාගම පිළිබඳ කඩිනම් තීන්දුවක් ගත යුතු බවත් අගමැති රනිල් එහිදී අවධාරණය කළ අතර, එවිට ජනාධිපතිවරයා කියා සිටියේ, ලබන අඟහරුවාදා පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමෙන් පසු අධ්යක්ෂ මණ්ඩලය සමග විශේෂ සාකච්ඡාවක් පවත්වා තීරණයක් ගන්නා බවයි.
අපේ ඉඩමක් ගන්න හැදුවොත් තමයි හදිස්සිය, මේක බැසිල්ගෙනේ
පූගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට නඩු අංක බී/8674/15 යටතේ අදාළ දේපොළ පිළිබඳව ඇමති විජයදාස රාජපක්ෂ ඉදිරිපත් කර තිබූ කැබිනට් සන්දේශයක් මෙවර කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡාවට ගැනිණි. මෙම ඉඩම බැසිල් රාජපක්ෂට අයත්ව තිබූ බවත්, එය රජයට පවරා ගත යුතු බවත් මහේස්ත්‍රාත්වරයා පසුගියදා නියෝග කර තිබිණි.
මේ පිළිබඳව අදහස් දක්වමින් ඇමති චම්පික පැවසුවේ ''මෙය අනවසර ඉදිකිරීමක් බවයි. කිසිදු අනුමැතියක් ලබාගෙන නැහැ. අනවසර පදිංචිකරුවන්ට වන්දි ගෙවීමේ අවශ්‍යතාවක් නැහැ'' යැයි කියූ විට කැබිනට් මණ්ඩලය යෝජනා කළේ කිසිදු වන්දියක් ලබානොදිය යුතු බවයි.
ඇමති අනුර යාපා එවිට කියා සිටියේ, මෙම ඉඩම නඩු නිමිත්ත බවයි. එය නඩු භාණ්ඩයක් බැවින් රජයට පවරාගත නොහැකි බව අමැති සුසිල් ප්‍රේමජයන්ත කියන්නට විය. මේ පිළිබඳව නීතිපතිවරයාගෙන් වාර්තාවක් කැඳවිය යුතු බව සුසිල් ප්‍රේමජයන්ත සඳහන් කරනවිට අධිකරණ නියෝජ්‍ය අමාත්‍ය මිත්‍රපාල සඳහන් කළේ නීතිපතිවරයාගේ උපදෙස් ලැබී ඇති බවයි.
එවිට ජනාධිපතිවරයා, ''මෙච්චර වෙලා තර්ක විතර්ක කළේ, නීතිපතිවරයාගේ උපදෙස් ලැබිලා තියෙනවා නම් ඉඩම පවරා ගැනීමට අවශ්‍ය කටයුතු සකස් කරන්න. මොකටද මෙච්චර වෙලා තර්ක කළේ'' යැයි පවසන්නට විය.
''අපේ ඉඩමක් ගන්න හැදුවොත් තමයි කඩිනමින් ගන්නෙ. මේ ඉඩම බැසිල් රාජපක්ෂගේ නිසා ප්‍රමාද කරනවා'' එවිට එක් අමාත්‍යවරයෙක් කිව්වේ රහසිනි.
1951 තත්ත්වයට සමාන තත්ත්වයක් ඇතිවෙනවා
''රට තුළ අන්තවාදය පතුරු වන ආකාරයේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙනවා. එය 1915 සිංහල, මුස්ලිම් කෝලහාලයට සමාන තත්ත්වයට පත්වෙන්න පුළුවන්. එම නිසා සියලු ජාතීන් වෙනුවෙන් ක්‍රියාත්මක අන්තවාදී ගැටුම් වහාම නතර කළ යුතුයි. වෙළෙඳ සැල් ගිනි තැබීම නතර කළ යුතුයි'' යැයි අමාත්‍ය මංගල සමරවීර කැබිනට් මණ්ඩල රැස්වීමේදී ප්‍රකාශ කළේය. ඊට සහයෝගය ලබාදුන් අමාත්‍ය කබීර් හෂීම් සඳහන් කළේ, අන්තවාදයට එරෙහිව රාජිත සේනාරත්න සහ එස්.බී. දිසානායක කළ ප්‍රකාශ තමන් අගය කරන බවයි.
සුළු ජාතිකයන් නියෝජනය කරන මහජන නියෝජිතයෙකු ලෙස තමන් එම අමාත්‍යවරුන් දෙදෙනාට ස්තුතිය පළකරන බවද ඔහු සඳහන් කළේය. එවිට ජනාධිපතිවරයා සඳහන් කළේ බොදුබල සේනා සංවිධානය රජයට විරුද්ධව කටයුතු කරමින් රට තුළ ගැටුම් ඇති කරන බවයි. අන්තවාදයට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගත යුතු බව අමාත්‍ය මණ්ඩලය මෙහිදී තීරණය කළේය.
මගේ තනතුර අහස වගේ - වැස්සත් හොඳ නැහැ පෑව්වත් හොඳ නැහැ
රීති ප්‍රශ්නයක් පැන නැගුණු අවස්ථාවක හැර පාර්ලිමේන්තුවේ යම් මන්ත්‍රීවරයෙකු නැගී සිට කතා කරන විට ඔහුට බාධා කිරීමට අන් අයට නොහැකිය. මෙහිදී රීති ප්‍රශ්නයක් ඇති බව සඳහන් කරමින් නැගී සිටින මන්ත්‍රීවරු රීති ප්‍රශ්න නැගීමට වඩා සිය ප්‍රතිවිරුද්ධ කථිකයන්ට බාධා කිරීමට එම වරප්‍රසාදය භාවිත කිරීම නිරතුරුව සිදුවන්නකි. මේ පිළිබඳව කථානායක කරු ජයසූරිය පසුගිය කාලය පුරා දිගින් දිගටම පාර්ලිමේන්තුවේදී මන්ත්‍රීවරුන්ට අවවාද කළේය.
රීති ප්‍රශ්න නැගීම විහිළුවක් කර නොගන්නා ලෙස එහිදී ඔහු මන්ත්‍රීවරුන්ට දැනුම් දුන්නා පමණක් නොව, නව ස්ථාවර නියෝග හා මන්ත්‍රී ආචාර ධර්ම සංග්‍රහය සකස් කිරීමේදීද මෙම අදහස් ඒ තුළ අන්තර්ගත කෙරිණි.
රීති ප්‍රශ්න ඇසීම පිළිබඳ පසුගිය සතියේ පාර්ලිමේන්තුවේ යළි කතාබහට ලක්වූයේ ආපදා තත්ත්වය පිළිබඳ දීර්ඝ විවාදය පැවැත්වෙන අතරතුරය. රීති ප්‍රශ්න නැගීමට මන්ත්‍රීවරු ගණනාවක් එකවර ඉල්ලා සිටි විට, අන් අයට හිමි වූ අවස්ථාව තමන්ට හිමි නොවූ බව සඳහන් කරමින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කළ මන්ත්‍රී උදය ගම්මන්පිල, එමගින් කථානායකවරයා විවේචනයට ලක්කර තිබිණි.
සභා ගර්භය තුළ සාකච්ඡා විය යුතු රීති ප්‍රශ්න පිළිබඳ කරුණු මාධ්‍ය වෙතට ගෙන ඒම පාර්ලිමේන්තු වරප්රසාදයන්ට පටහැනි බවත්, එම නිවේදනය මගින් කථානායකවරයාට අවවාද කරන ආකාරයෙන් විවේචනය කිරීමට විරුද්ධව පියවර ගන්නා ලෙසත් කරු ජයසූරිය මහතාට හිතවත් ප්‍රධාන පෙළේ භික්ෂූන් වහන්සේලා කිහිප නමක් මෙන්ම දේශපාලන හිතවත්හුද ඉල්ලා සිටියහ.
නමුත්, කථානායකවරයාගෙන් ඔවුන්ට ලැබුණේ බෙහෙවින් නිවුණු පිළිතුරකි. “මම කවදත් අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස වෙනුවෙන් කටයුතු කළ කෙනෙක්. මා ගැන විවේචනය කරන්න එතුමාට තියෙන අයිතියටත් මම ගරු කරනවා. ඒක එතුමන්ගේ මතය. නමුත් නවක මන්ත්‍රීවරයෙක් හැටියට එතුමා මේ කාරණා පාර්ලිමේන්තුවේදී සාකච්ඡා කළා නම් තමයි හොඳ” යැයි පැවසූ කථානායකවරයා වර්තමානයේ පවතින දේශපාලන බල සංයුතිය තුළ කථානායක ධුරය මොන තරම් සංකීර්ණද යන්න තේරුම් ගත හැකි අපූරු කතාවක් කීවේය.
“මේ තියන තත්ත්වය තුළ කථානායකකම හරියට අහස වගේ. වැස්සත් කට්ටියකට හොඳ නැහැ. පෑව්වත් තව පිරිසකට හොඳ නැහැ. හැබැයි මම මේ ධුරය බාර ගත්තේ මේවා දැන ගෙන. ඒ නිසා විවේචනවලට මුහුණ දෙන්න මට පුළුවන්” යැයි කීවේ මැදහත් සිතිනි.
මේ අතර ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් ගණනාවක්ම කථානායකවරයා අමතා අදාළ පුවත්පත් නිවේදනය පිළිබඳව සිය කනගාටුව ප්‍රකාශ කිරීමද විශේෂත්වයකි.
මේ අතර ආණ්ඩු පක්ෂය නියෝජනය කරන ප්‍රධාන පක්ෂ දෙකෙහිම මැති ඇමතිවරුන් මේ සම්බන්ධයෙන් කතාබහ කළ අතර, පළමු වරට පාර්ලිමේන්තුවට පැමිණි නවක මන්ත්‍රීවරයෙකු පාර්ලිමේන්තු සම්ප්‍රදායට නොගැළපෙන ආකාරයට කටයුතු කිරීම සම්බන්ධයෙන් විවේචන එල්ල කරන්නට විය.
''අලුතෙන් ආපු අය පාර්ලිමේන්තුව ගැන දන්නේ නැතුව තමන්ට හිතෙන දේවල් කරන්න යනවා. එයාල හිතාගෙන ඉන්නේ තවම ප්‍රදේශීය සභාවල, පළාත් සභාවල ඉන්නවා කියලා. කථානායකතුමා ඉවසා ගෙන ඉන්න නිසා තමයි මේ ප්‍රශ්නෙ'' යැයි ඔවුහු කතා කරන්නට වූහ.
එසේම මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළ යුතු බවටද මන්ත්‍රීවරු තීරණය කළහ.
අරුන්දිකට වැඩ වරදීද?
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂිගේ ජපන් සංචාරයට සංචාරක හා ක්‍රිස්තියානි කටයුතු නියෝජ්‍ය ඇමති අරුන්දික ප්‍රනාන්දු ද එක්ව තිබිණි. මීට පෙර අවස්ථා කිහිපයකදීද අරුන්දික ප්‍රනාන්දු, හිටපු ජනාධිපති මහින්ද සමග සම්බන්ධ වූ අතර එහිදී සන්ධාන නායකයන් ඔහුට දොස් පවරා තිබිණි.
දැනට වරෙන්තුකරුවෙකු ලෙස නම් කර ඇති උදයන්ත වීරතුංග සමග අරුන්දික ප්‍රනාන්දු මෙවර ජපන් සංචාරයේදී එක්ව ඡායාරූප ගෙන ප්‍රසිද්ධ කර ඇති අතර, ඒ තුළින් ආණ්ඩුව අපහසුතාවට පත්ව තිබේ. මේ සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේදී දීර්ඝව සාකච්ඡා වී ඇති අතර, අරුන්දික සම්බන්ධයෙන් තීරණයක් ගත යුතු බවද ප්‍රකාශ වී තිබේ.
පදක්කමින් පළාත් සභාවට?
මේ දිනවල පදක්කමක් සම්බන්ධයෙන් අර්බුදයක පැටලී සිටින බව කියන එම ක්ෂේත්රය සම්බන්ධ ඇමතිවරයා දැඩි ලෙස විචේචනය කරන ක්‍රීඩිකාවක සමග පසුගිය දිනක ඒකාබද්ධ විපක්ෂයේ කිහිපදෙනෙකු සාකච්ඡාවක් පවත්වා තිබේ.
අමාත්‍යාංශ ලේකම්වරයාගේ ලිපියකට විරෝධය දැක්වීමක් පමණක් මුලින් සිදුකළ මේ ක්‍රීඩිකාව, පසුව එය දැවැන්ත අර්බුදයක් බවට පත්ව ඇතැයි දිගින් දිගටම චෝදනා කරන්නට වූවාය.
මෙලෙස දිගින් දිගටම ආණ්ඩුව විවේචන කරන ලෙස සාකච්ඡාවේදී ඇයගෙන් ඉල්ලා ඇති අතර, එලෙස ජනප්‍රිය වී සමාජ කතාබහක් ඇතිකර ගන්නා ලෙසද ඔවුන් ඉල්ලා තිබේ.
ඒ අනුව ඉදිරි පළාත් සභා මැතිවරණයේදී ඇයට අපේක්ෂකත්වය ලබාදීමට කටයුතු කරන බවටද මෙම සාකච්ඡාවේදී එකඟ වී තිබේ.
දැනට පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක ලෙස කටයුතු කරන රංගන ශිල්පිනියකද දේශපාලනයට ගෙන ආවේ මේ ආකාරයටම බව එහිදී මොවුන් පවසා ඇති බවද දැන ගන්නට ලැබේ.
ඒකාබද්ධය ඊළඟ රැස්වීමටත් සූදානම්
ඒකාබද්ධ විපක්ෂය මීළඟ රැස්වීම පැවැත්වීමට සැලසුම් කර ඇත්තේ ත්‍රිකුණාමලය නගරයේ මුහුදු වෙරළ ආසන්නයේය. ජාතික සම්පත් විකිණීමට එරෙහිව ගාල්ලේ පැවැත්වූ රැස්වීමෙන් පසුව පවත්වන පළමු දිස්ත්‍රික් රැස්වීම මෙය වේ. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ජූලි 03 වැනිදා මෙම රැස්වීම පැවැත්වේ. එයට අවශ්‍ය වටපිටාව සකස් කර ගැනීම සහ සංවිධාන කටයුතු සිදුකිරීම සඳහා විමලවීර දිසානායක මන්ත්‍රීවරයාගේ සභාපතිත්වයෙන් යුතු කමිටුවක් පත්කර තිබේ.
මන්ත්‍රීවරුන් වන නාමල් රාජපක්ෂ, ඩී.වී. චානක, පද්ම උදය ශාන්ත ගුණසේකර, වීරකුමාර දිසානායක, ෂෙහාන් සේමසිංහ, එස්.එම්. චන්ද්‍රසේන, රොෂාන් රණසිංහ, චන්ද්‍රසිරි මුතුකුමාරණ සෙසු සාමාජිකයෝ වෙති.
ඔවුහු මේ දිනවල නැගෙනහිර පළාතේ අම්පාර, ත්‍රිකුණාමලය, මඩකලපුව යන දිස්ත්‍රික්කවල ජනතාව දැනුවත් කිරීමේ කටයුතු සිදුකරති. කමිටු සාමාජිකයන් අවස්ථා තුනකදී හමුවී රැලියේ සංවිධාන කටයුතු සම්බන්ධව තීන්දු තීරණවලට එළඹ තිබේ.
කමිටුව අවසන් වශයෙන් රැස්වුණේ ත්‍රිකුණාමලයේ පිහිටි පළාත් සභා හිටපු මන්ත්‍රීවරයෙකු වන නිමල් ගාමිණීට අයත් රෙස්ටුරන්ටයකදී පසුගිය 11 වැනිදාය. කමිටු සාමාජිකයෝ සැලකිය යුතු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
කමිටු සභාපති විමලවීර දිසානායක මෙහිදී අදහස් දක්වමින් කියා සිටියේ, “සේරුවිල, කන්තලේ, තඹළගමුව, කින්නියා ආදී වශයෙන් ප්‍රාදේශීය සභා මට්ටමින් පැවැත්විය යුතු පූර්ව රැස්වීම් මාලාවට හැකි තරම් අපේ මන්ත්‍රීවරුන් සම්බන්ධ කර ගන්න ඕන. අඩුම වශයෙන් මන්ත්‍රීවරු හතළිහක් වත් සම්බන්ධ කර ගන්න ඕන. වතු රැස්වීම්වලටත් මන්ත්‍රීවරුන් තැනින් තැනට යනවා.
ඒ සඳහා අපි ශක්තිමත් වැඩපිළිවෙළක් හදාගමු. විරුද්ධවාදීන් රැස්වීම කඩාකප්පල් කරන්න බලාගෙන ඉන්න විත්තියත් අපි මතක තියාගන්න ඕන. පෝස්ටර් ගහන, බැනර් දාන එක, ජනතාව සහභාගි කර ගන්නා එක අසීරු වෙන්න පුළුවන්. මොකද ජනතාවට රැස්වීමට ගෙන්වා ගන්න ප්‍රවාහන පහසුකම් සපයා ගැනීමේදීත් ගැටලු තියෙනවා. මේ රැස්වීමට වැඩිම ජනතාවක් කන්තලෙන් සහභාගි වන බව මට කියන්න පුළුවන්'' යනුවෙන්ය.
මහින්දට කිරිඅඟුණුකොළ මැල්ලුමක් කන්න හිතිලා
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ විජේරාම මාවතේ පිහිටි නිල නිවසට පදිංචියට යෑම නිමිත්තෙන් පසුගිය 11 වැනිදා රාත්‍රියේ පිරිත් සජ්ඣායනයක් සහ 12 වැනිදා සපිරිකර දක්ෂිණාවක් පැවැත්විණි. පිරිත පැවතියදා රාත්‍රියේ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු රැසක් එම නිවසට පැමිණ සිටියහ. පසුවදා දානයට රාජපක්ෂ පවුලේ සියලු දෙනා පැමිණ සිටියහ.
සංඝයා වහනසේලාට දානය පිළිගැන්වීමෙන් පසුව ආහාර ගැනීම සඳහා පැමිණ සිටි පිරිස සමග මැති ඇමතිවරු පෝලිමේ සිටියහ. මේ පෝලිමට හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂද එක්විය. මේ අවස්ථාව වනවිට තිබූ සියලුම පිඟන්වල ආහාර බෙදාගෙන තිබුණු බැවින් මැති ඇමතිවරුන්ට පිඟන් නොතිබිණි.
මේ අවස්ථාවේදී මධ්‍යම පළාත් හිටපු අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකොන් අතේ තිබූ පිඟාන බැසිල් රාජපක්ෂට ලබා දුන්නේය. එවිට බැසිල්, “එපා පුතා. පුතා තෙන්නකෝන් ඉස්සරහටම යන්නකෝ. කෝ අප්පච්චි අවේ නැද්ද? යැයි ඇසුවේය. එවිට ප්‍රමිත කීවේ, ''අප්පච්චිට සනීප නෑ සර්'' කියාය. ''මං දැක්කා ඔයා හොඳ වැඩක් කරලා තිබුණේ අප්පච්චිගේ සංවිධායකකම අයින් කරපු වෙලාවේ'' යැයි බැසිල් පසුව ප්‍රකාශ කළේය.
මෙම දානයට කොස් ඇට මාළුවක් තබා තිබිණි. මෙම කොස් ඇට මාළුව බෙදාගන්නා අතරේ බැසිල් ප්රමිතට කීවේ “දේශපාලනය කරන එකත් කොස්ඇට මාලුව කනවා වගේ පරිස්සමින් කරන්න ඕන. කොස් ඇට මාලු හරියට කෑවේ නැත්නම් හත්පොළේ ගාගන්නවා වගේ දෙයක් තමයි වෙන්නේ. ඒ නිසා කල්පනාවෙන් වැඩ කරගෙන යන්න'' කියාය. අනතුරුව ප්‍රමිත කෑම බෙදාගෙන අසුනක් සොයා යනවිට මහින්ද රාජපක්ෂ එම ස්ථානයට පැමිණියේය.
''ප්‍රමිත එන්න මෙතැනට කියා ප්‍රමිත ළඟට කැඳවා ගත් මහින්ද “මොකද්ද අර පත්තරවල ගිහින් තියෙන්නෙ'' යැයි විමසුවේ බත් කටක් කන ගමන්ය.“ඒක තමයි සර් මමයි අප්පච්චියි එහෙම කවදාවත් කලකිරිලා නෑ. අපි ශ්‍රී ලංකා එකට ආපහු යනවා කියලා පත්තරවල දාලා තියෙනවා. සර්ව දාලා අපි කොහේවත් යන්නෑ. සර් මාතලේට එන්නකෝ'' යැයි ප්‍රමිත එවිට පැවසීය.
''ප්‍රමිත අපට විශේෂ ආරාධනා ඕන නෑ. මං අනිවාර්යයෙන්ම එන්නම්. හැබැයි අම්මට කියන්න කිරිඅඟුණුකොළ මැල්ලුමක් හදන්න කියලා. මං ගිය පාර ආපු වෙලාවේ අම්මා හදලා තිබුණෙ කිරිඅඟුණුකොළ මැල්ලුමක්, ඒක හරි රහයි'' යැයි මහින්ද කීවේය.
නාමල් යෝෂිතගේ කේක් නොකෑ හේතුව
12 වැනිදා යෝෂිතගේ 28 වැනි උපන් දිනය යෙදී තිබිණි. ඒ වෙනුවෙන් විජේරාම නිවසේ උපන්දින සැමරුමක්ද පැවැත්විණි. කේක් ගෙඩියක් ඒ සඳහා සූදානම් කර තිබිණි. මහින්ද, ශිරන්ති, නාමල්, යෝෂිත, රෝහිත ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියහ. යෝෂිත කේක් ගෙඩිය කපා ප්‍රථමයෙන්ම සිය පියාට සහ මවට කේක් කවා ඊළඟට නාමල්ට කැවීමට කේක් කෑල්ල ළං කළේය.
බිත්තර යොදා කේක් සාදන බැවින් නාමල් සාමාන්‍යයෙන් කේක් කන්නේ නැත. නාමල් මුව අසලට කේක් කෑල්ල ළං කොට කේක් කන ආකාරය පෙනෙණ සේ ඡායාරූපයක් සඳහා පෙනීසිටියේ අවස්ථාවට උචිත වන පරිදිය. මෙහිදී මහින්ද රාජපක්ෂ කීවේ ''නාමල් හැමදාම ඕක තමයි කරන්නේ.
කේක් කන්නේ නෑ'' කියාය. ''බිත්තර දාලා මේවා හදන නිසා මම කේක කන්නැනේ.'' එවිට යෝෂිත කීවේ ''නෑ නෑ මේකට බිත්තර දැම්මෙ නැහැ'' කියාය. කොච්චර කිව්වත් ඕකට බිත්තර පොඩ්ඩක් හරි වැටෙන්න ඇති කියූ නාමල් කේක් කෑම ප්‍රතික්ෂේප කළේය. අනතුරුව යෝෂිත සියලු දෙනාටම කේක් කැවීය.
දියවන්නාරාළ විසිනි
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd