මෙරට පොදු ප්‍රවාහන ක්ෂේත්රය තුළ සැලකිය යුතු කාර්යභාරයක් ඉටුකරමින් ජනතාවට වඩාත් සමීපව කටයුතු කරන සුවිශේෂී ප්‍රවාහන මාධ්‍යයක් ලෙස ත්‍රිරෝද රථ සේවාව හඳුන්වාදිය හැකිය. එය ජනතාවට කෙතරම් සමීපද යත් ත්‍රිරෝද රථයක නොගිය අයෙකු මෙරට සිටීද යන්නද ගැටලුවකි.
සමාජයට මෙතරම් සමීප ත්‍රිරෝද රථ සේවාවේ අද දවස පිළිබඳ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජවිද්‍යා අධ්‍යයනාංශය විසින් සිදුකරන ලද පරීක්ෂණයක සමාලෝචනය මෙලෙස ගෙන එනුයේ මහාචාර්ය මයුර සමරකෝන් මහතාය.
පොදුවේ ගත්තාම ත්‍රිරෝද රථ සේවාව කියන්නෙ මෙරට ජන සමාජයට ඉතාමත් සමීපවුණු ව්‍යාපාරයක්. එහෙමත් නැත්නම් කර්මාන්තයක් දියට ගත්තොත් ඉතාමත් ඉහළ සේවයක් සපයන්න හැකියාවක් තිබෙන කර්මාන්තයක්. ඒ විතරක් නෙවෙයි මේ තුළින් ත්‍රිරෝද රථ හිමියන්ගේ ජීවිත දියුණු තත්ත්වයකට රැගෙන යෑමේ හැකියාවක් තිබෙනවා.
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දැනට යාවත්කාලීන කරලා තිබෙන දත්ත වාර්තා අරගෙන බැලුවොත් 2016 වසර වෙනකොට ත්‍රිරෝද රථ 1,062,447ක් මෙරට තුළ තිබෙනවා. මේ ප්‍රමාණයෙන් අතිබහුතරයක්ම කුලී රථ විදියට, එහෙමත් නැත්නම් පොදු ප්‍රවාහන මාධ්‍යයක් ලෙස යොදාගන්නවා.
ත්‍රිරෝද රථ සේවාව පිළිබඳ අපේ අධ්‍යයනාංශය කොළඹ, ගම්පහ, රත්නපුර, වැල්ලවාය හා ඇඹිලිපිටිය වැනි ප්‍රදේශ කිහිපයක් කේන්ද්‍ර කරගෙන ත්‍රිරෝද රථ රියදුරන් 800කට අධික ප්‍රමාණයක් සම්බන්ධ කරගෙන අධ්‍යයනයක් සිදුකළා. මේ පිරිසෙන් බහුතරයක්ම වයස අවුරුදු 18ත්, 30ත් අතර පසුවුණු අය. තරුණ පිරිස් මේ රැකියාවට සැලකිය යුතු පෙලඹීමක් තිබෙනවා.
පොදුවේ ඊට හේතු වශයෙන් ගත්තොත් පහසුවෙන්ම මේ සඳහා අවතීර්ණ වීමට හැකියාවක් මේ වෘත්තියේ තිබෙනවා. අධ්‍යාපන සුදුසුකම් හෝ වෘත්තීය පුහුණුවක් මීට අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වගේම දෛනිකව මෙමගින් ආදායම් ලැබිය හැකියි. මේ හේතු නිසා තරුණ පිරිස් අධ්‍යාපනය හමාර කළ ගමන් හෝ අධ්‍යාපනය අතරමග නවතා ත්‍රිරෝද රථ වෘත්තියට අවතීර්ණ වෙනවා.
ඒ වගේම අද දකින්නට ලැබෙන පොදු සාධකයක් තමයි මේ වෙද්දි ශ්‍රී ලංකාවේ හතු පිපෙන්නාක් වගේ සෑම තැනකම දකින්නට ලැබෙන ලීසිං ආයතන මගින් ඉතාමත් අඩු මූලික ගෙවීමක් යටතේ ත්‍රිරෝද රථ ගෙවීමේ ක්‍රමයට මිලදී ගන්න හැකියාව ලබාදීලා තිබීම.
අපේ අධ්‍යයනයට සම්බන්ධ වුණු ත්‍රිරෝද රථ රියදුරන්ගෙන් 81%ක්ම සිය ත්‍රිරෝද රථය මිලදී ගෙන තිබුණේ ලීසිං ක්‍රමය හරහා. 38%ක් පමණ පිරිසක් රු.10,000ත්, 15,000ත් අතර මුදලක් මාසිකව ලීසිං වාරික වශයෙන් අදාළ ආයතන වෙත ගෙවනු ලබනවා.
මේ මාසික වාරිකය මහන්සි වුණොත් ත්‍රිරෝද රථයේ ආදායමින්ම ගෙවීමට පුළුවන් බව 68%ක් දෙනා කියද්දි. 32%ක්ම ප්‍රකාශ කර සිටියේ ත්‍රිරෝද රථයෙන් ලැබෙන ආදායම ලීසිං වාරික ගෙවීමට කොහෙත්ම ප්‍රමාණවත් නැහැ කියලා.
මේ පිරිසෙන් බොහෝ දෙනෙකුගේ දෛනික ආදායම විදියට ඔවුන් ප්‍රකාශ කර සිටියේ රුපියල් 500-1000ත් අතර ප්‍රමාණයක් කියලා. 11%ක් පමණයි ප්‍රකාශ කළේ ඔවුන්ගේ දෛනික ආදායම ලෙස රුපියල් 2000ක් හෝ ඊට වැඩි මුදලක් උපයන බව.
මේ අනුව ගත්තාම යම් ගැටලුවක් තිබෙනවා. ඒ තමයි යම් ලෙසකින් එක් ලීසිං වාරිකයක් හෝ ගෙවා ගන්නට නොහැකි වුණොත් උද්ගත වන තත්ත්වය කෙබඳුද කියන කාරණය. මොකද මේ ත්‍රිරෝද රථ රියදුරන්ගෙන් බොහෝ පිරිසක් විවාහක පුද්ගලයන් වගේම ඒ පිරිසෙන් 84%කගේම බිරිඳට රැකියාවක් නැහැ.
අද වෙනකොට ශ්‍රී ලංකාවේ සෑම පුද්ගලයෙක් වගේම ත්‍රිරෝද රථ රියදුරනුත් දැඩි ආර්ථික සහ සාමාජීය ප්‍රශ්න රැසකට මුහුණ දෙමින් ඉන්නවා. සමහරු ගෙවල් කුලී ගෙවන ගමන් ත්‍රිරෝද රථයේ ලීසිං වාරිකයත් ගෙවනවා. මේ තත්ත්වයන් මත යම් ආර්ථික බිඳවැටීමකට ලක්වන දෙයක් සිදුවුණොත් මොවුන් විශාල ගැටලුවකට මැදිවන බව අමුතුවෙන් කිවයුතු නැහැ.
අධ්‍යයනය සඳහා සහභාගි වුණු ත්‍රිරෝද රථ රියදුරන්ගෙන් 47%ක පිරිසක් ත්‍රිරෝද රථය තුළම දිනකට පැය 9-12ත් අතර කාලයක් ගතකරනවා. තවත් 23%ක පිරිසක් දිනකට පැය 13-15ත් අතර කාලයක් ත්‍රිරෝද රථය තුළ සිටිනවා. මෙයින් පැහැදිලිවම පෙනෙන කාරණයක් තමයි මේ රියදුරන් සිටින්නේ නිදහස් මානසිකත්වයකින් නොවන බව.
ඔවුන්ට මුහුණ දීමට සිදුවෙලා තිබෙන ආර්ථික සහ සාමාජීය ගැටලුත් එක්ක දැඩි පීඩනයකයි මේ පිරිස් පසුවෙන්නේ. ඒ නිසාම සමහර ත්‍රිරෝද රථ රියදුරන් විවිධාකාරයේ දුරාචාරයන් වෙත යොමුවෙනවා. සමාජයට විශාල ලෙස සමීප වුණු එවැනි සේවාවක නියැළෙන අයෙක් ඒ ආකාරයෙන් දුරාචාරයට පෙලඹුණොත් එම වෘත්තියේ නියැළෙන සමස්ත පිරිස පිළිබඳ ඍණාත්මකව බැලීමට සමාජය යොමුවීමට තිබෙන ඉඩකඩ වැඩියි.
මේ අධ්‍යයනයේදී හෙළිවුණු තවත් කරුණක් තමයි මේ ත්‍රිරෝද රථ රියදුරන්ගෙන් 71%ක්ම කුමන හෝ වරදක් නිසා පොලීසියට දඩ මුදල් ගෙවා තිබෙනවා. ඉරි කපා ධාවනය කිරීම, අධික වේගය, බීමත්ව රිය පැදවීම කියන වැරදි තමයි මෙහිදී සුලබවම සිදුව තිබුණේ.
අධ්‍යයනයට සහභාගි වුණු පිරිසෙන් 28%ක්ම යම්යම් වැරදි සමථයකට පත්කර ගැනීමේ අරමුණින් පොලීසියට අල්ලස් ලබාදී තිබුණා. ඒ වගේම මේ පිරිසෙන් 14%කටම වලංගු රියදුරු බලපත්‍රයක් තිබුණේ නැහැ. ත්‍රිරෝද රථ නැවතුම්පොළ කිහිපයක අපි දැක්ක දෙයක් තමයි විනයගරුක රියදුරන්ට ඔවුන්ගේ සමාජය තුළ එතරම්ම යහපත් පිළිගැනීමක් නොලැබෙන බව.
සමස්තයක් ලෙස ගත්තාම ත්‍රිරෝද රථ රියදුරන්ට ඔවුන්ටම ආවේණික වුණු සංස්කෘතියක් ගොඩනැගිලා තිබෙනවා. ඒ සංස්කෘතියේ ශිෂ්ට සම්පන්න බවට වඩා අශිෂ්ට සම්පන්න බව තමයි අපේ සමාජය නිරන්තරයෙන්ම අහන්නට දකින්නට උත්සාහ කරන්නෙ. අපි දකින ආකාරයට, සමාජය දකින ඒ අශිෂ්ට සම්පන්න බවට හේතුවෙලා තිබෙනවා.
මෙරට මාර්ග නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන්ගේ දුර්වලතාවන්. නීතිය එක ලෙස සහ සමානව ක්‍රියාත්මක වෙනවා නම් මේ තත්ත්වය අපට බහුලව දකින්නට ලැබෙන්නේ නැහැ. මේ ත්‍රිරෝද රථ රැකියාවේ නියැළෙන තරුණයන්ගෙන් අපට දකින්න ලැබුණු දෙයක් තමයි තමන් පාර්ක් එකේ ත්‍රිරෝද රථ පදවනවා කියන දේ තමන්ට යම් ව්‍යාජ අභිමානයක් හෝ පිළිගැනීමක් ගොඩනගා ගැනීමට භාවිත කිරීම.
ව්‍යාපාරයක් ලෙස ගත්තාම උපරිම වාසිය ත්‍රිරෝද රථ රියදුරන් ලබාගන්න උත්සාහ ගන්නවාද කියන එක එක්තරා ආකාරයකින් ගැටලුවක්. අද බොහොමයක් ත්‍රිරෝද රථ රියදුරන් තමන්ගෙන් සේවාව ලබාගන්න එන පාරිභෝගියාට කතා කරන්නෙත් එතරම් සුහදත්වයකින් නෙමෙයි. ඒ වගේම සමහර තරුණ රියදුරෙක්ගේ ත්‍රිරෝද රථයකට නැග්ගාම මගියෙකුට ඇතිවෙන්නේ හරියට රෙකෝඩ් බාර් එකකට ඇතුළු වුණා වැනි හැඟීමක්.
අධික ශබ්දය නිසා මගියාට සිදුවන පීඩාව ගැන ඔවුන් අවධානය යොමුකරන්නේ නැහැ. තවත් සමහර තරුණ ත්‍රිරෝද රථ රියදුරන් කොට කලිසම් ඇඳලා, කරාබු දාලා, පච්ච් කොටලා බොහොම විකාර රූපී ආකාරයටයි සිටින්නෙ.
එවැනි රියදුරෙක් සිටින ත්‍රිරෝද රථයකින් ගමන් බිමන් යන්න බොහෝ අය අකමැතියි වගේම විශේෂයෙන් කාන්තා පාර්ශ්වය ඒ සඳහා මැලිකමක් දක්වනවා. ඉතින් මේ වගේ සුළු කාරණා පවා නොසලකා හරිනවානම් එක්වරක් ත්‍රිරෝද රථයට ගොඩවෙන මගියෙක් නැවතත් ඒ ත්‍රිරෝද රථය ප්‍රතික්ෂේප කරන තත්ත්වයකුයි ඇතිවෙන්නෙ.
රජයේ වගකිව යුතු අංශයන්ටත් මේ කාරණයේදී යම් වගකීමක් පැවරෙනවා. ඒ තමයි රටේ පොදු ප්‍රවාහන සේවය තුළ මේ ආකාරයෙන් සැලකිය යුතු මට්ටමක කාර්යභාරයක් ඉටුකරන මෙවැනි ප්‍රවාහන සේවාවකට නිසි වටිනාකමක් සහ පිළිගැනීමක් ලබාදීමට තමන්ගේ පැත්තෙන් ඉටුවිය යුතු වගකීම ඉටුකිරීම. නමුත් තවමත් එවැන්නක් සිදුවන බවක් නම් දකින්න ලැබෙන්නේ නැහැ.
ඒ වගේම පළාත් මට්ටමින් හෝ ත්‍රිරෝද රථ නියාමනය සඳහා යම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමද අත්‍යවශ්‍ය වෙනවා වගේම ත්‍රිරෝද රථ රියදුරන් පමණක් නොවෙයි වෙනත් රියදුරන් තුළත් මාර්ග විනය ඇතිකරන්න දැඩි නීතිරීති පද්ධතියක් ක්‍රියාත්මක කළයුතු වෙනවා. ඒ නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන් ඊට සුදුසු විය යුතුයි.
ත්‍රිරෝද රථ රියදුරාගෙනුත් අල්ලස් ලබාගන්න පෙලඹිලා ඉන්න දූෂිත නිලධාරීන් සිටිනවා නම් ඒ කාර්යය සිදුකරන්න අපහසු වෙනවා. ඒ එක්කම ත්‍රිරෝද රථ රියදුරන්ගේ අනාගත සුරක්ෂිතභාවය වෙනුවෙන් සමාජ ආරක්ෂණ මණ්ඩල හරහා ඔවුන්ගේ වෘත්තියට සුරක්ෂිතභාවයක් ලබාදීම වැදගත් බවත් මතක් කළ යුතුයි.
ත්‍රිරෝද රථ වෘත්තීය ගුණාත්මක කරන්න පුළුවන් සෑම දෙයක්ම සිදුකරලයි තියෙන්නේ
''ත්‍රිරෝද රථ සේවය කියන්නේ මේ රටේ ස්ථාපිත වුණු දවසේ සිටම අද වෙනකනුත් කාගේවත් හව්හරණක් පිළිසරණක් නොමැතිව, පිළිගැනීමක් නොමැතිව සිටියත් රටට බරක් නොවී තවමත් තමන්ගේ සේවය නොමසුරුව ජනතාවට ලබාදෙමින් නිහඬ සේවයක් ඉටුකරන අගය කළයුතු ප්‍රවාහන මාධ්‍යයක්. අද වෙද්දි මේ සමාජයේ ඇගයීමක් ලැබෙන ක්ෂේත්‍ර නොමැති තරම්. ඒ වගේම තමයි ත්‍රිරෝද රථ රියදුරාත්. විවේචනය පමණක් දන්න සමාජයක හොඳක් ඇසීම ඉතාමත් අපහසු කාර්යයක්.
අපි මේ වෙනකොට ත්‍රිරෝද රථ වෘත්තීය ගුණාත්මක කරන්න කරන්න පුළුවන් සෑම දෙයක්ම සිදුකරලයි තියෙන්නේ. එහි ප්‍රතිඵලයක් විදියටයි මම සහ මගේ සංවිධානය මූලික වෙලා ඩිජිටල් ටැක්සි මීටරය මේ රටේ නැවත ස්ථාපිත කරලා ගුණාත්මක ත්‍රිරෝද රථ සේවයකට නියැදියක් විදියට 'බජට් ටැක්සි සේවය' මේ රටේ ආරම්භ කරන්න කටයුතු කළේ.
1978 දී මේ රටට ත්‍රිරෝද රථය හඳුන්වා දුන්න දවසේ ඉඳන් මේ දක්වාමත් ත්‍රිරෝද රථ වෙනුවෙන් නීතියක් හෝ රීතියක් මේ කිසිදු රජයකින් ක්‍රියාත්මක කරලා නැහැ.
මෙය පළාත් සභාව සතු විෂයයක්. පළාත් සභාව සතුවයි ත්‍රිරෝද රථ නියාමනය සඳහා වගකීම තිබෙන්නේ. නමුත් තවමත් වගකිවයුතු අංශ මැදිහත් වෙලා ඒ වෙනුවෙන් නිසි පියවරක් අරගෙන නැහැ. ඒ වගේමයි අපිත් පිළිගන්නවා ත්‍රිරෝද රථ රියදුරන් පමණක් නෙවෙයි අනෙක් සෑම රියදුරෙක්ම හික්මවීමට නම් දැඩි නීතිරීති පැනවිය යුතුයි කියලා.
ත්‍රිරෝද රථ වෘත්තිය කියන්නේ බොහොම අභිමානවත් වෘත්තියක්. හරියට අවංකව කරනවා නම්, කාටවත් බරක් නොවී මනුස්සයෙක්ට තනිව නැගී සිටින්නට හැකියාවක් තිබෙන අභිමානවත් වෘත්තියක්.''