වරින්වර විශ්වාසභංග ගෙන ඒම, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ වීම සහ දේශපාලඥයන් අත්අඩංගුවට ගැනීම යන කරුණු හේතුවෙන් මෙරට දේශපාලනය දිනෙන් දින උණුසුම් වෙමින් පවතී. එහි නවතම සිදුවීම ලෙස මහින්දානන්ද අලුත්ගමගේ මහතා අත්අඩංගුවට ගැනීම හැඳින්විය හැකිය. මේ සියලු කාරණා පිළිබඳ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන මහතා සමග කළ සංවාද සටහනකි මේ.
වත්මන් දේශපාලන වාතාවරණය සමිබන්ධව ඔබේ අදහස
කෙටියෙන්ම කියනවා නම් රට අරාජික වෙලා, රටේ නායකයෙක් නැහැ, රටේ අනාගතය වෙනුවෙන් මේ ආණ්ඩුව ගත්ත ක්‍රියාමාර්ගයකුත් නැහැ, කොටසක් කැබිනට් වර්ජනය කරනවා, කොටසක් කැබිනට් යනවා, ගිය අය කරපු දෙයක් නැහැ. ඒ වගේම විවිධ දේශපාලන වුවමනාව මත පුද්ගලයන්ට චෝදනා කරනවා, නඩු දානවා අවසානයේ අත්අඩංගුවට ගන්නවා. ඒ නිසයි රටේ අරාජික තත්ත්වයක් නිර්මාණය වෙලා තියෙන්නෙ.
මහින්දානන්ද අලුත්ගමගේ මහතා අත්අඩංගුවට ගැනීම සම්බන්ධව ඔබේ අදහස
එය කල් ඇතුව සැලසුම් සහගතව කරපු දෙයක්. පසුගිය විශ්වාසභංගයට ක්‍රියාකාරීව කටයුතු කළ නිසා එතුමාගෙන් පළිගැනීම සඳහා තමයි කිසිම පදනමක් නැති අභූත චෝදනා නගලා අත්අඩංගුවට ගැනීම සිදු කළේ. මෙය තනිකරම දේශපාලන පළිගැනීමක් විදියටයි අප නම් කරන්නේ.
පොදුජන පෙරමුණ විසින් ගෙන එන ලද විශ්වාසභංගය පරාජය වුණා නේද
අපි ඒ පරාජය බලාපොරොත්තු වූ දෙයක්. මොකද අපට විශ්වාසය තියන්න පුළුවන් 54 දෙනයි හිටියේ. අනෙක් සියලු දෙනා විවිධ කාරණාවලට නැමෙන උදවිය. ඒ නිසා මේ විශ්වාසභංගය දිනන්න කරපු දෙයක් නෙමෙයි. මෙය කළේ මේ දුර්ධාන්ත ආණ්ඩුවේ ක්‍රියාකලාපය හැකිතාක් දුරට ජනතාවට විවෘත කිරීමයි.
නමුත් විශ්වාසභංගය හරහා පක්ෂය සමගි වීම තුළින් එ.ජා.ප.යට මෙහි වාසිය අත්වුණා නේද
නැහැ එය වැරදි තර්කයක්. එ.ජා.ප.යට වාසියක් අත්වුණේ නැහැ. අප ගෙන ආ විශ්වාසභංගය නිසා අද එ.ජා.ප.ය ඇතුළෙ විශාල ගැටලුවක් තියෙනවා. කොටසක් නායකත්වයේ වෙනසක් ඕන කියනවා. කොටසක් ඉන්න නායකයා හොඳයි කියනවා. ඒ නිසා පක්ෂයේ හරි නායකයෙක් නැහැ. නායකත්වයට කුලල්කාගන්න තත්ත්වයක් තමයි මම දකින්නෙ.
විශ්වාසභංගයට සහාය පළකිරීමට ටී.එන්.ඒ. සංවිධානයට අග්‍රාමාත්‍යවරයා කොන්දේසි 10කට එකඟත්වය පළකර තිබෙනවා
පැහැදිලිවම ටී.එන්.ඒ. සංවිධානය මේ රට වෙනුවෙන් පෙනී සිටින සංවිධානයක් නෙමෙයි. මේ රට කැඩීම සඳහා, මේ රට බෙදීම සඳහා පෙනී සිටින සංවිධානයක්. එතකොට මේ අය එක්ක එකතු වෙලා වික්‍රමසිංහ මහත්තයා බලය රැකගන්න කටයුතු කරනවා කියන්නේ රට පාවාදීම සඳහා, රට දැවැන්ත අගාධයකට දැමීම සඳහා කටයුතු කරනවා කියන එකයි. එකඟ වූ කොන්දේසි දිහා බැලුවම එය හොඳට පේනවා.
ප්‍රථමයෙන් විශ්වාසභංගයක් ගෙන එන බව පැවසූ රංගේ බණ්ඩාර මහතා පසුව නිහඬ පිළිවෙතක් අනුගමනය කළා නේද
ඔව්. විශාල වශයෙන් මුදල් සහ වරදාන හුවමාරු වූ නිසා තමයි මුලින් විශ්වාසභංගය ගේන්න කටයුතු කළ උදවිය පූසො වගේ නිශ්ශබ්ද වුණේ. වික්‍රමසිංහ මහතා ජයග්‍රහණය කරන්න දායක වූ සියලු දෙනාට විවිධ වරප්‍රසාද හා වරදාන ලැබුණා කියන එක දැන් රහසක් නෙමෙයි.
පසුව එ.ජා.ප. පසුපෙළ මන්ත්‍රීවරුන් ගෙන එන්න හැදූ විශ්වාසභංග 16ත් අතරමගදී නතර වුණේ ඇයි
ඒක තමයි එ.ජා.ප.යට අද වෙලා තියෙන විනාශය. මං මුලිනුත් කිවුවනේ එ.ජා.ප.ය අන්ත අගාධයකට වැටිලා තියෙන්නෙ. එයට සාක්ෂි තමයි විශ්වාසභංගය හකුළා ගැනීමට සිදුවීම. මහලොකුවට 16ක් ගේන්න කතා කළේ, පැය 24ක් යන්න කලින් ඒ සියල්ල අවසන් වුණා. අද ඒ පසුපෙළ මන්ත්‍රීවරුන්ට ජනතාවට මුහුණ දෙන්න බැරි තත්ත්වයක් තමයි තියෙන්නේ.
අද විපක්ෂ නායකවරයට එරෙහිව විශ්වාසභංගයක් ගෙන එමින් තිබෙනවා නේද
එතුමාට එරෙහිව අමුතුවෙන් විශ්වාසභංගයක් ගේන්න ඕන නැහැ. මේ රටේ සිංහල, දෙමළ ජනතාවගේ විශ්වාසය නැති කෙනෙක් තමයි විපක්ෂ නායකතුමා. එතුමා ආණ්ඩුවේ පන්දම්කාරයෙක් බවට පත්වෙලා තියෙනවා. දෙමළ ජනතාවට යමක් දිනාදෙන්න තියෙන අවස්ථාව එතුමා සීමා සහිතව ප්‍රතික්ෂේප කර තියෙනවා, මේ රජයට නිර්ලජ්ජිතව පන්දම් ඇල්ලීම නිසා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ දෙවැනි වතාවටත් දෙකඩ වීමක් සිදු වෙලා තියෙනවා නේද
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොටසක් මේ ආණ්ඩුව එක්ක එකතු වුණා. ඒ උදවිය සියලු දෙනාම මේ අර්බුදයට දායක වුණා. ඒ වගේම මේ ආණ්ඩුවේ අර්බුදයට මැදිවුණා. ඒ අර්බුදය තුළින් ඔවුන් තවත් අර්බුදයටකට මුහුණ දීලා තියෙනවා. ඒ අයට අද ඉදිරියට යන්න බැරි තත්ත්වයක් තියෙන්නෙ. පක්ෂයෙන් පිරිස් ඉවත් වෙනවා. දේශපාලන අනාගතය ගැන හිතන්නවත් බැහැ. ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අයට අද යන එන මං නැති වෙලා තියෙන්නෙ.
මේ තත්ත්වය මතද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන් 16 දෙනෙකු එම තනතුරුවලින් ඉවත් වුණේ සහ විපක්ෂයේ අසුන් ගැනීමට තීරණය කර තිබෙන්නෙ
ඔව්. ඒ අයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනාගතයක් නැහැ. පක්ෂය දෙකඩ වෙලා ඉවරයි. දැන් ඒ අය වටපිට බලනවා කොයි පැත්තට එකතු වෙන්නද කියලා. ඒ අයට අපි මීට කලින් තමයි කතා කළේ විපක්ෂයට එකතු වෙන්න කියලා. දැන් හරි නුවණ පෑදුණු එක ගැන සතුටුයි. සියලු දෙනා එකමුතුව ඉදිරියේදී දැවැන්ත බලවේගයක් විදියට මේ රජයට විරුද්ධව කටයුතු කරන්න අපි බලාපොරොත්තු වෙනවා.
එම මන්ත්‍රීවරුන් 16 දෙනා ඉදිරියේදී පොදුජන පෙරමුණට එකතු වෙයිද
එකතු වෙනවද, නැද්ද කියන එක ඒ අයගේ වැඩක්. පොදුජන පෙරමුණට ඕන කෙනෙකුට එකතු වෙන්න පුළුවන්. හැබැයි දේශපාලන වශයෙන් බලයට ආවාම ඒ අයට තනතුරු, නිලතලවලට පත්වීම ගැටලුවක් තිබෙනවා. මොකද අපි සූදානම් නැහැ අපේ පක්ෂයේ හිටපු උදවිය ඇරෙන්න වෙන උදවියට තනතුරු, නිලතල ලබාදෙන්න. මොකද අපට ඒ උදවිය විශ්වාස කරන්න අමාරුයි.
එක්සත් ජාතික පක්ෂයේ ප්රතිසංවිධානයක් සිදුවෙමින් පවතිනවා. මෙය ඔබ දකින්නෙ කොයි ආකාරයෙන්ද
අද එ.ජා.ප.යට වෙලා තියෙන්නෙ බල්ලා පොළේ ගියා වගේ වැඩක්. පොළට ගිය බල්ලා ගන්න දෙයකුත් නැහැ, අරගෙන යන දෙයකුත් නැහැ. හැබැයි ලොකුවට බුරාගෙන සද්ද දාගෙන යන්නේ. ඒ වගේ තමයි එ.ජා.ප.යේ ප්‍රතිසංවිධානය කිසි වැඩක් නැහැ. ඔය සිදුවෙන්නෙ රඟපෑමක් පමණයි.
පළාත් සභා මැතිවරණය කල්යන බවට විවිධ මත ඉදිරිපත් වෙනවා නේද
සහතිකවම මේ අය මැතිවරණය කල්දැමීමේ උපායක් යොදමින් ඉන්නවා. මොකද මේ වෙලාවේ මැතිවරණයකට ගියොත් පළාත් පාලන ආයතන ඡන්දයට වඩා වැඩි පරාජයක් අත්වෙන්නෙ කියලා මේ අය දන්නවා. ඇයි මේ රටේ ජනතාව මෝඩයෝ නෙමෙයි, මේ රට ගැන කැක්කුමක් තියෙන ජනතාවක් සිටින්නෙ. ඒ අයට බොරු කියලා බලය ගත්ත එක ඒ අයට දැන් තේරිලා ඉන්නෙ. ඒ නිසා ආණ්ඩුව කියන බොරුවලට ජනතාව රැවටෙන්නෙ නැහැ කියලා ආණ්ඩුව කරවන උදවියම දැන් දන්නවා.
පොදුජන පෙරමුණෙහි ඉදිරි දේශපාලන වැඩකටයුතු පිළිබඳ මතක් කළොත්
අපි සියල්ලන්ම මේ රජය පළවා හැරීම සඳහා දේශපාලන ක්‍රියාමාර්ගයකට ඉදිරියට යනවා. ජනතාව අපෙන් බලාපොරොත්තු වෙන්නෙ එවැනි දෙයක්. එය ඉටුකිරීම අපගේ වගකීමක්. අපිව හිරේ දැම්මත්, මොන චෝදනා නැගුවත් ඉදිරියට තැබූ පය පසුපසට ගන්න අපි සූදානම් නැහැ කියලා වගකීමෙන් මතක් කරනවා