Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 12 වන බ්‍රහස්පතින්දා
2024 දෙසැම්බර් මස 12 වන බ්‍රහස්පතින්දා
පවුලක් කියන්නේ කිසියම් සමාජ ප්රගමනයක් පවත්වාගැනීම සඳහා වන කුඩා ඒකකයක්. එහි බිරිඳ සහ ස්වාමියා අතර ඇතිවන සමාජය නිර්මාණය කිරීමේ කාර්යය පවත්වාගැනීම සඳහා අදාළ වෙනවා.
එතැනදී දරුවන් හැදීම, වැඩීම සහ සමස්ත පවුලේ යහපත වෙනුවෙන් යම් ඉලක්ක සම්පූර්ණ කරගැනීමේ අපේක්ෂා කෙරෙනවා. මේ ඒකකය තුළ ඉතා පැහැදිලිවම දකින්න පුළුවන් කරුණු ගණනාවක් තියෙනවා. පළමුවැන්න ස්වාමියා සහ බිරිඳයි. දෙවැන්න දෙමවුපියන් සහ දරුවන් හැටියට දැක්විය හැකියි. තුන්වෙනුව ඥාතීන් සහ ඥාති සම්බන්ධතා ලෙස දැක්විය හැකියි.
අපි විවාහය ගැන කතා කරන විට එහි නෛතික ස්වභාවය ඉස්මතු කරනවා. එතැනදී රෝම ලන්දේසි නීතියට පෙර කාලයේදී මෙය නීතියක් වුණේ එයට දෙදෙනෙකු අතර පැවති කැමැත්ත පමණයි. කැමැත්ත සහ බොහෝවිට අවබෝධය තුළ එය සිදු වුණා.
එතැනදීත් කැමත්තෙන් දෙදෙනෙකු විවාහ වීම සහ එපරිද්දෙන්ම දෙදෙනෙකුට කැමැත්තෙන් වෙන්ව යාමේ අවස්ථාව තිබුණා. එයට අමතරව මෙම නීතිය තුළ දේපළ සම්පත් මත මෙය තවදුරටත් තහවුරු වුණා. මෙය නීතිය පැත්තෙන් විග්රහ කිරීම තුළ විවාහය යන උත්තරීතර වචනය අර්ථවත් කිරීම පිළිබඳ යම් අර්බුදයක් පවතිනවා.
නීතිය තුළින් විවාහය විග්රහ කිරීමේදී විවාහයක් සඳහා අනුබලයක් වන චිත්තාවේගීය බැඳීම් අහෝසි වෙනවා. ඒ වෙනුවට මූලික වන්නේ නීතිය කියන සාධකයයි.
විවාහය කියන සාධකය නීතිය තුළ සිර නොකර එය අඹුසැමියන් අතර පවතින විත්තාවේගීය බැඳීමක් බවට පත්වන තුරු සාර්ථක පවුල් ජීවිතයක් සඳහා පවතින අවකාශය අහිමි වෙනවා.
වර්තමාන සමාජයේ විවාහය සක්‍රීයව පවත්වාගෙන යෑමට සාධක දෙකක් බලපානවා. අවබෝධය සහ අන්‍යෝන්‍ය සහයෝගය මත විවාහය සාර්ථක කර ගැනීම අපහසු නැහැ. නමුත් අද විවාහය වෙනස් පැත්තකට හැරිලා. මේ වනවිට විවාහය කියන උත්තරීතර ආයතනය ආර්ථික, දේශපාලන සහ මූල්‍ය වශයෙන් වෙනත් පැත්තකට ගමන් කරමින් පවතිනවා. පවුල් ජීවිතය ඒ සාධක මත යැපෙන විට ඒ සමග ගැටෙන වෙනත් සාක්ෂිද හේතුවෙන් විවාහ ජීවිතය අර්බුදයක් බවට පත් වෙනවා.
අද තරුණ පරපුර ගත්තොත් පෙර තරුණ තරුණියන් මෙන් ආදර සම්බන්ධතා ගොඩනඟා ගැනීමට යොමුවන්නේ නැහැ. මම පළමුව ස්ථාවර වී, දෙවනුව විවාහය ගැන සිතිය යුතු යැයි ඔවුන් සිතනවා. නිසි අවස්ථාවේ විවාහ නොවීමට අධ්‍යාපනයේ ප්‍රමාදයත්, රැකියාවක් නොමැතිකම වැනි සාධකත් බලපානවා යැයි සමාජ කතිකාවතක් ගොඩනැඟෙන්නේද එනිසයි. එතැන්දී ඒ අය ගැළපෙන කෙනෙක් හමුවනතුරු සිටිනවා.
සිඟාලෝවාදය සූත්‍රය බලන්න. බුදු හිමියන් විසින් බිරිඳගෙන් සැමියාටත්, සැමියාගෙන් බිරිඳටත් වියයුතු යුතුකම් බුද්ධ දර්ශනය තුළ පැහැදිලිව දක්වා තිබෙනවා. එයින් අදහස් කළේ අඹුසැමියන් අතර එකිනෙකා කෙරෙහි පැවතිය යුතු පිළිගැනීම සහ ගරුත්වය රැකෙන පරිදි නිවස තුළ කටයුතු කිරීමේ වගකීම කෙබදුඳ යනුවෙන් පෙන්වා දීමයි.
බලාපොරොත්තු දේ ඉෂ්ට නොවන තැනකදි අර්බුද හටගන්නවා. මිනිසා කියන සාධකය තුළ පවතින ප්‍රධාන අංග දෙකක් තියෙනවා. එකක් ලිංගික අවශ්‍යතා. අනෙක මනෝ චිත්තාවේගයන් වශයෙන්. මිනිසා ජීවත් කරවීමට මේ දෙකම එක වගේ බලපානවා. මේ දේ නොලැබෙන විට ගැටුම් ඇති වෙනවා.
අපි කෙතරම් දේ රැස් කළත්, ඉඩකඩම් යානවාහන එකතු කර තිබුණත්, ඇති තරම් මිලමුදල් තිබෙනවා කිව්වත් ඒ දේ සතුට නොවෙයි. ඒ කියන්නේ ඒ දෙයින් හැමදාම සතුටු වෙන්න බැහැ. අපි රෝගී වෙනවා. ලෙඩදුක් වැලඳී විඳවනවා. අන්න එතැන්දී අපව ජීවත් කරවන්නේ ආදරයයි. ජීවිතයට ආදරය හැමවිටකම අවශ්‍යයි කියලා මම කියන්නේ ඒකයි. අර ඉහත කී දේට ජීවිතයේ වටිනාකම ලබාදෙන්න බැහැ.
එවැනි අයගේ ප්‍රාර්ථනාවන්, අපේක්ෂාවන් විමසුවත් ඔවුන් ඊළඟ පරම්පරාව ගැන හිතන්නෙත් ඉඩකඩම් දේපළ ලබාදෙනවා නම් ඒක ජීවිතය කියලයි. එතෙන්දි ඔවුන් අධ්‍යාපනයට මුල්තැන දෙනවා. එය අවශ්‍ය දෙයක්. ඒ හැමදෙයක් සමගම ජීවිතය ජීවත් කරවීමට චිත්තාවේගයන්ට මූලිකත්වය දිය යුතුයි. එවිට මේ දේ සමබර කළ හැකියි.
පවුල තුළ විනය, සාමාජානුභාවය, හැදියාව, සදාචාර සම්පන්නකම, අන් අය සමග සමාජයේ ජීවත්වන ආකාරය, ඔවුන් කෙරෙහි කටයුතු කළ යුතු ආකාරය ඉගැන්විය යුතුයි. තරුණ වියට පත්වන විට තාරුණ්‍යයේ වටිනාකම සහ එයට ගැළපෙන, නොගැළපෙන දේ කතා කළ යුතුයි. විවාහප්‍රාප්ත වයසේදී විවාහය යනු කුමක්ද? සහකරු හෝ සහකාරිය තෝරාගැනීම කෙබඳුද? විවාහ ජීවිතය සාර්ථක කරගන්නේ කෙසේද? යන සංවාදයත්, එතැනින් පසු අඹුදරුවන් සමග පවුල් ජීවිතය ගෙනයන ආකාරයත් පිළිබඳ කලින් කල අවශ්‍යතාව අනුව කතාබහ කළ යුතුයි. නමුත් අද එහෙම දේ වෙනවාද කියන ප්රශ්නය තියෙනවා. අද වැදගත් ලෙස සලකන්නේ අධ්‍යාපනය පමණයි. එතැන තරගයක් නිර්මාණය වෙලා. අර මම කියන දේ වෙනුවට අද සිදුවන්නේ අධ්‍යාපනය හරහා සමාජ පන්තියක් කෙරෙහි ළමයා යොමු කරවීමට උත්සාහ කිරීම පමණයි. මෙහිදී සිදුවන්නේ දෙමවුපියන්ගේ අවශ්‍යතා සහ අවකාශය අතර ප්‍රශ්නයක් මතු වෙනවා.
විශ්වවිද්‍යාලයකට අවස්ථාව ඇත්තේ අතළොස්සකට පමණයි. මේ තරගය තුළද ඉතා උපරිම තරගකාරීත්වයක් නිර්මාණය කිරීම නිසා සමාජයට යහපත් පුරවැසියෙකු බිහි කළ හැකිද යන ප්රශ්නය මතු වෙනවා. අපි දරුවන්ගේ සෞන්දයර්යාත්මක හැකියාවන් කෙරෙහි අවධානය යොමු කරන්නේ නැහැ.
ගීයක් ගායනා කරන්න හෝ තාලයට කවියක් කියන්නත් ඒවා රස විඳින්නත්, චිත්‍රයක් අඳින්නත් එය විවරණය කරන්නත්, පොතපතක් ලියන්න වැනි අවස්ථා අපි අපේ දරුවන්ට ළඟා කරදෙන්නේ නැහැ. ඒවා අපේ මායිමෙන් දුරස් වෙලා. දරුවන්ද එතැනට ළඟාවීමට අපි බාධක පනවලා.
සෞන්දර්යයෙන් තොර පුද්ගලයා සතෙකු වගේ කෙනෙක්. අද ඇතැම් වෛද්‍යවරු පවා තමන්ගේ අයිතීන් වරප්‍රසාද වෙනුවෙන් මිනිසුන් නොසලකා ප්‍රතිකාර නොකර සිදු කරන විවිධ හිංසනයන් ගැන ඇතැම්විට ඇහෙනවා. අපි අපේක්ෂා කරන සංවේදී, සෞන්දර්යයාත්මක මිනිසුන් තුළ එවැනි දේ නැහැ. දෙමවුපියන්ට අවශ්‍ය වන්නේ තම දරුවන් ඉංජිනේරුවන්, වෛද්‍යවරුන්, ගණකාධිකාරීන් වගේ මහත් ඉහළින් කියැවෙන වෘත්තීන්ට ගෙනයාමට නම්, එහෙම වෙනෙකාට අර මම කියන සෞන්දර්යය සඳහා දරුවාට සමීප වීමට ඇති කාලය වළක්වනවා.
අද සෞන්දර්යයාත්මක ගති ලක්ෂණ වෙනුවට කටපාඩම් කරවීමේ අධ්‍යාපන ක්‍රමයක් තියෙන්නේ. එනිසා පෙරපාසල සිටම උපකාරක පන්ති යන තැනට දරුවන් යොමු කරලා. මේ නිසා ළමයින්ට ඇති පීඩනය නිසා ඔවුන් දැඩි ලෙස රෝගාතුර වෙනවා. ළමයාට දැරිය හැකි යම් මට්ටමක් තියෙනවා. එය දරාගත නොහැකි තැනකදි දරුවා රෝගී වීම ස්වාභාවිකයි.
දරුවා හුදෙකලා කරලා. ඔහුට කණ්ඩායමක් නැහැ. කණ්ඩායම් වගකීම නැහැ. සාමූහිකව බෙදා හදාගැනීම ගැන අවබෝධයක් නැහැ. සමාජය සමග සංවරව අත්දැකීම් බෙදාගෙන ජය පරාජය විඳගෙන ජීවත් වීමේ කලාවක් ඔවුන් තුළ නැහැ. අද බිග්මැච් ගැන හිතන්න. එදා බිග්මැච් අවසන් වුණේ ජයග්‍රාහකයන් පරාජිත වූවන් සමග සුහදව ඒ සියල්ල විඳගෙනයි. අද වෙන්නේ ගහ මරාගන්නා එක. ඒවායින් පවා පෙන්වන්නේ මේ විෂම බවයි.
ළමයා නිවස තුළ සිර කරලා. අධ්‍යාපනයේ සිරකරුවන් බවට පත් කරලා. ළමයාගේ පෞද්ගලිකත්වය සහ ළමා කාලය අහිමි කරලා. අන් අය සමග සාමාජානුගතවීමට බාධක යොදවලා. අත්දැකීම් සමසමව විඳගැනීමේ චර්යාවන් දරුවන්ට තහනම් කරලා. එහෙම වෙනකොට අපි හැමවිටම කරලා තියෙන්නේ අධ්‍යාපනයට සුදුසු අශ්වයෙකු නිර්මාණය කරන එක පමණයි.
නමුත් පවුලක වගකීම විය යුත්තේ පවුලට අවශ්‍ය අයෙකු නිර්මාණය කර ගැනීමයි. නමුත් පවුල තුළ මේ සංවාදය නොකෙරෙන තරම්. ආර්ථිකය ගැන තියෙන උනන්දුව සමාජයේ ඉහළින් වැජඹෙන අන් අය පරදවා ඉදිරියට යාමේ තරගය, මේ හැමදෙයක්ම සිදුවුණාට යහපත් චිත්තාවේග ඇති දරුවන් බිහි කළ යුතුයි කියන මතය පවුල තුළ නැහැ.
ඕනෑම රටක ආර්ථිකය පවුල සමග ප්‍රබල සාධකයක් වෙන බව ඇත්ත. නමුත් පවුල් තුළ මේ හැම තැනකදීම එක්තරා සංයමයක් තිබිය යුතුයි. එතෙන්දි සමාජයක තිබිය යුතු ප්‍රධාන සමාජීය මූලධර්ම සියල්ල පවුල් විසින් අමතක කරනවා. එහෙම නම් පවුලකට තමන්ගේ වගකීම් තම දරුවන් වෙනුවෙන් ඉටු කළා යැයි අපේක්ෂා කළ හැකිද?
ඔවුන්ට ළමා කාලයක් නැතැයි ළමයින් චෝදනා කරනවා. අධ්‍යාපනය තුළ වුවද කිරීමට සිදුව ඇති දේ පිළිබඳ ඔවුන්ට ප්‍රශ්න තියෙනවා. පවුලේ කටයුතු පවත්වාගෙන යාම පිළිබඳ ඔවුන්ට ප්‍රශ්න තියෙනවා. ඔවුන්ගේ සමාජය සහ ඔවුන්ට ජීවත්වීමට සමාජය සම්බන්ධ ප්‍රශ්න තියෙනවා.
එහෙම නම් අධ්‍යාපනය තුළින් පමණක්ම සම්පූර්ණ මිනිසෙකු බිහි විය හැකි යැයි සිතන්න බැහැ. යහපත් සම්පූර්ණ මිනිසෙකු බිහිවීමට අනුබල වන සාධක ගණනාවක් තියෙනවා.
ප්‍රධානම දේ දරුවාට දර්ශනයක් තිබිය යුතුයි. ඒ දර්ශනය දරුවා තුළ නොමැති නම් ඔහුට සාර්ථක පුරවැසියෙකු විය නොහැකියි. එහෙම නම් ඒ දර්ශනයේ පරමාර්ථ මොනවාදැයි දරුවාට තේරුම් කරදිය යුතුයි.
ඒ විතරක් නෙවෙයි. ඒ දරුවාට තමන්ගේ වටිනාකම් මොනවාදැයි දැනිය යුතුයි. එවැනි දෙයක් අද සමාජයේ සිදුවන්නේ නැති තරම්. අද දරුවාගේ වටිනාකම ගැළපීමට උත්සාහ කරන්නේ ඔහු ලබාගන්නා සාර්ථක ජයග්‍රහණ අනුව පමණයි.
එතැනදි තරගය නිර්මාණය වෙනවා. ඒ තරගයට ළමයින් තල්ලු කරන දෙමවුපියන් දරුවන් විභාගයෙන් අසමත් වුවහොත් සියදිවි නසාගන්නා තැනට පත්වෙනවා. දරුවන් ගෙදරින් පන්නා දමනවා. එහෙම නම් දරුවන්ගේ ජීවන හැකියාවන්, කුසලතා තේරුම්ගැනීමට හැකි පරිසරයක් අධ්‍යාපනය තුළින් ලැබුණාද? පවුල් තුළින් ලබා දුන්නාද? දෙමවුපියන් අවබෝධ කරදී මඟපෙන්නුවාද? එහෙම වෙනවා නම් රටේ හැමදාමත් ඇසෙන ළමයින් සියදිවි නසාගැනීම හෝ යෞවනයන් ඒ තැනට පත්වීම පිළිබඳ වාර්තා ඇසෙන්නේ නැහැ නේද?
දරුවට විභාගවලට මුහුණදෙන්නෙ කොහොමද පමණක් නෙවෙයි. එතැන්දි මතුවන අභියෝගවලට මුහුණදෙන්නේ කොහොමද කියන කරුණ දෙමවුපියන් තේරුම් කරදිය යුතුයි.
ලංකාවේ සියදිවි නසාගැනීමට අනුබල දෙන ප්‍රධාන හේතු දෙකක් පවතිනවා. එතැන්දිත් ළමයින්, නව යෞවනයන් තරුණයන් ඉදිරියෙන් සිටිනවා. සියදිවි නසාගැනීමට මේ වයස්වල අයට හේතුවෙන කරුණු ගණනාවක් තියෙනවා. එක් හේතුවක් විභාග අසමත් වීමයි. දෙවැන්න ආදර සබඳතා පිළිබඳ අර්බුදය හැටියට දක්වන්න පුළුවන්. එහෙම නම් අධ්‍යාපනය වටා රැස් කරපු ළමයින්ට මේ අභියෝග ජයගැනීමට අධ්‍යාපනයෙන් පමණක් ලැබී ඇති අනුබලය කුමක්දැයි හිතන්න. මේවා පවුල තුළ සංවාදයට පත්විය යුතු කරුණුයි. විභාගය අසමත් වුණා නම් විකල්පය මේකයි. ඒකට තවත් වෙනත් විකල්පත් තියෙනවා කියන මතය දරුවාට අවබෝධ කරදීම මෙවැනි අර්බුද අභියෝග ජයගැනීමට අනුබලයක්.
අපි දරුවන්ට පෙන්වා දී ඇත්තේ ජීවිතය ජයගැනීමට එකම විකල්පය විභාග පාස් කර අධ්‍යාපනය ලැබීම පමණක් යැයි නම්, දරුවන් හිතනවා විභාගය අසමත් වුණොත් විකල්ප නැහැ කියලා. එතැන්දි ඔවුන් පරාජිතයන් වීම ගැන දෙමවුපියන් හිතන්නේ නැහැ. නැවත ආපස්සට හෝ ඉදිරියට විමසීමට කිසිවෙකු කැමති වන්නේ නැහැ. අර්බුදය එතැනයි. එතැන්දි ළමයින්ගේ සහජ කුසලතාව සහ හැකියාවන් තෝරාගෙන ඒවා ඉදිරියට ගෙනයාමට කටයුතු කළ යුතුයි. ළමයා සුපුරුදු රැල්ලට තල්ලු නොකළ යුතුයි. ඒ රැල්ල ළමයින් බිලි ගනීවි. එනිසා අභියෝගයන්ට මුහුණදීමට දරුවාට ගෙදරින් ඉගැන්විය යුතුයි. ෆේල් වුණාට කමක් නැහැ. අපි වෙනස් යමක් කරමු. අලුත් අදහසක් සොයමු. දරුවන්ට එවැනි වෙනත් විකල්පයන් වෙත යොමු කරන වැඩිහිටියන් පිරිස 5෴ටත් අඩුයි. දරුවන්ට ගැටලුවක් ඇති වූ විට එය හුවමාරු කරගත යුත්තේ නිවස තුළ දෙමවුපියන් අතරයි.
ළමයා බුද්ධිමත්. අපට නැති කුසලතා ඔහුට තියෙනවා. බුද්ධිය එකක්. විනය තවත් එකක්. බුද්ධිය යහපත් නම් විනය ඉබේම ගොඩනැඟෙනවා. ළමයාට ඇහුම්කන් දීමට පවුල තුළින් පුරුදු කළ යුතුයි. එහෙම නම් ඒ අවශ්‍යතාව ඉටු කිරීමට මවුපියන් අඹුසැමියන් ලෙස එකිනෙකාට ඇහුම්කන් දෙනවාද? එහෙම නැත්නම් ළමයින්ට ඇහුම්කන් දීමට දෙමවුපියන් කෙතරම් සූදානම්ද යන ප්රශ්නය පවතිනවා. සමහරවිට පරම්පරා දෙක අතර ගැටුම් තියෙනවා. අපි අපේ කාර්යය ඉටු කරනවා.
ඒත් ඔවුන් විවාහ දිවියට පත් වූ පසු අපි ඔවුන්ගේ කටයුතුවලට අත නොගැසිය යුතුයි. නමුත් එතැනින් පසු ඔවුන්ට අපගේ ඇඟිලි ගැසීම්, මැදිහත්වීම්වලින් තොරව සාර්ථකව ප්‍රශ්න තේරුම්ගැනීමට ඇති අවස්ථාව අපි නිවස තුළදී ළමාවියේ සිට පුහුණු කළ යුතුයි.
එහෙම වෙනකොට නැන්දා ලේලි, අඹුසැමි ආරවුල්ද ඉබේම විසඳෙයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd