පසුගිය ජනවාරි 08 වැනිදා ජනාධිපතිවරණයෙන් පරාජය ලැබූ හිටපු ජනාධිපති මහින්ද රාපක්ෂ මහතා මෙවර මහා මැතිවරණයේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අගමැති අපේක්ෂකයා ලෙස තරග කරයි. කුරුණෑගල දිස්ත්‍රික් අපේක්ෂකයෙකු ලෙස තරගවදින මහින්ද රාජපක්ෂ මහතා පසුගිය සමයේ ඔහුට එල්ල වූ චෝදනා ගැනත් මෙවර මහා මැතිවරණය සහ අනාගත දේශපාලන තත්ත්වය පිළිබඳවත් මෙසේ අදහස් දැක්වීය.
Q මෙවර මැතිවරණය සන්ධානයට ජයගත හැකිද?
මම විශ්වාස කරනවා මෙවර ආසන 117 ක් ලබා ගෙන සන්ධානයට ජයග්‍රහණය ලබා ගත හැකියි කියලා.
Q සුගිය වසර 10 කාලයේ දී ඔබේ නායකත්වයෙන් සියලු මැතිවරණ ජයග්‍රහණය කරලා ජනවාරි 08 ඔබ පරාජය වුණා. ඒ පරාජය දැනුනේ කොහොමද?
නෑ... මම ඊට කලින් මැතිවරණ පැරදිලා තියනවා. 1977ත් මම පැරදුනා. ඒ හින්දා මට මැතිවරණ පැරදිලා හොඳට පුරුදුයි. මම මැතිවරණ පරාජයටන්ට හොඳට මුහුණ දීලා තියනවා.ඒ නිසා ඒ පරාජය ඒ තරම් දැනෙන්නේ නැහැ.
Q ඔබ කොටි සංවිධානයට මුදල් දුන්නා යැයි චම්පික ඇමතිවරයා පසුගිය අඟහරුවාදා (11දා) විශේෂ අනාවරණයක් කළා. ඒ පිළිබඳ ඔබේ අදහස ?
චම්පික ඇමතිවරයා මීට පෙර මේවා ප්‍රකාශ කළේ නෑනේ. එයා මාත් එක්ක හිටියනේ. එයා දැන දැන මම එහෙම කලා නම් එයා කොහොමද මගේ කැබිනට් ඇමතිවරයෙක් වෙලා හිටියේ. එයා මේවා හොඳටම දැනගෙන තමයි එහෙනම් මගේ කැබිනට් එකේ ඉඳලා තියෙන්නේ.
මම එකක් පැහැදිලිව කියන්න ඕනි කොටින්ට අපි කිසිම වෙලාවක සල්ලි දුන්නෙ නෑ. දෙන්නෙත් නෑ. නමුත් ප්‍රේමදාස මහත්තයා ආයුධ පිටත් කළා. වික්‍රමසිංහ මහත්තයත් විශේෂ හෙලිකොප්ටර් වලින් සල්ලි පිටත් කළා. කොටින්ට ආයුධ නැතිව ඉන්න වෙලාවෙ. මේවත් මහා විශාල පාපකර්ම අපරාධ ලෙස තමයි අපි දකින්නේ. මේවායේ ඡායාරූප සමග තිබෙන සාක්ෂි පසුගිය කාලෙ එළි කළා. ඒවා චම්පික ගාවත් තියනවා. චම්පික දැන් ඒවා හංගගෙන පෙට්ටගමට දාලා රනිල්ගෙ තුරුලට වෙලා ඉන්නවා.
Q මෙවර මැතිවරණයට පෙර ඇති වාතාවරණය සහ ආරක්ෂාව ගැන ඔබ සෑහීමකට පත්වෙනවද?
ආරක්ෂාව ගැන නම් මම කොහෙත්ම සෑහීමකට පත්වෙන්නේ නෑ. මෙතෙක් කාලයක් ජනතාව තමයි මට ආරක්ෂාව දුන්නේ.
Q ඔබ ජයග්‍රහණය විශ්වාස කළත් පරාජයට පත් වුවහොත් ජාතික ආණ්ඩුවක නියෝජ්‍ය අගමැති ධුරය බාර ගන්නවද?
නෑ... මම සූදානම් නෑ. ඒක මට කොහොමත් අදාල වෙන්නේ නෑ. මොකද මම මේ මැතිවරණය ජයග්‍රහණය කරන නිසා.
Q මෛත්‍රී ජනාධිපතිවරයා සමග එක්ව 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගන්න ඔබ බලාපොරොත්තු වෙනවද?
20 වැනි සංශෝධනය ගැන අධ්‍යනය කරලා 20 වැනි සංශෝධනය සම්මත කර ගන්න කටයුතු යොදන්න පුළුවන් නම් එය කරනවා. හොඳ දෙයක් ගන්න පුළුවන් නම් ගන්නවා. ඒත් මම ඔය කෑලි සංශෝධනයක් කරනවට වඩා සම්පූර්ණ ව්‍යවස්ථා සංශෝධනයක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා වැඩපිළිවෙලක් සකස් කරනවා. එහිදී මැතිවරණ ක්‍රමය පිළිබඳවත් අවධානය යොමු කිරීමක් සිදුවෙනවා.
Q එසේ කිරීමට මේ මැතිවරණය ජයග්‍රහණය කිරීමෙන් පසුව පාර්ලිමේන්තුවේ 2/3 ක බලයක් ලැබෙයි කියලා ඔබ හිතනවද?
සමහරවිට ලැබෙන්න පුළුවන්. මොකද මම 117 ක් දින්නාට පස්සේ ඔය නොයෙක් පක්ෂ මට එකතු වෙන්න ඒවි. අපිට එතකොට යම් යම් දේවල් සාකච්ඡා කරන්න අවස්ථාව ලැබෙයි. හැබැයි ජාතික ආණ්ඩුවක් ගැන නම් මගේ කිසිම විශ්වාසයක් නෑ.
Q ඒ කියන්නේ ජාතික ආණ්ඩු සංකල්පය ඔබ දිනුවොත් අහෝසියි?
අනිවාර්යයෙන්ම අපි හදන්නේ සන්ධාන ආණ්ඩුවක්.
Q ඔබ මෙවර දී තිබෙන පොරොන්දු ඉටු කිරීමට සෑහෙන මුදල් අවශ්‍ය බව පෙනෙනවා. මේවා ඉටු කරන්නේ නැවත නැවත ණය ලබාගෙනද?
ලෝකයේ මොන රටේද ණය නැත්තේ. ණය නැති රටක් හොයල දෙන්න මට කරුණාකරලා. ඇමෙරිකාව චීනයට මොන තරම් ණයද? එතකොට ණය නැති රටක් බිහි කරනවා කියන කණ්ඩායම් කියන්නේ බොරු. අපි රටේ ණය බර ජාතික ආදායමෙන් ඉතාම අඩු අගයකට ගෙනාවා. මෙයාලා ජාතික ආදායමෙන් කොච්චර ඉහළ මට්ටමකට ණය අරන් තියනවද කියලා හොයල බලන්න කියලා මම ජනතාවට කියනව. අපේ කාලේ ඒක අඩුවෙලා තියනවා. ඒ නිසා මුදල් හොයා ගැනීම ගැන අපට ගැටලුවක් නෑ.
Q දින 100 වැඩපිළිවෙල තුළින් කෙරුණේ පළි ගැනීම් පමණක් බවයි ඔබේ පාර්ශ්වයේ අදහස. ඇත්තෙන්ම කිසිම සංවර්ධනයක් වුණේ නැද්ද?
මට පෙන්වන්න සංවර්ධනය කොහෙද කියලා. කිසිම දෙයක් නෑනේ. අපි මුදල් වැය කරලා කරපු දේවල් දින 100 වැඩ සටහනෙන් කලා වගේ විවෘත කරගෙන යනවා. පොළවල්, පාලම්, මහින්දෝදය විද්‍යාගාර මේවායේ සමරුඵලක වෙනස් කරලා විවෘත කරගෙන යනවා. මට හිතා ගන්න බෑ මොන විදියේ විලිලැජ්ජ නැති මිනිස්සුද මේ කියලා.නිකම්වත් කියන්නෙ නෑ, මේ අහවල් කාලේ සිද්ධ වුණා කියලවත් කියන්නේ නෑ.
හරියට දින 100 වැඩ පිළිවෙලේ එක අංගයක් වගේ කරන්නෙ. මේවා ඉදිකිරීම දින 100ට නෑ. හැබැයි විවෘත කිරීම දින 100 අංගයක් වී තිබෙනවා. දැන් ඔය වීරකැටියේ නිදහස් උත්සවය තියන්න පාර කඩල තිබුණා. එතන පැච් කරන්න තිබුණා මීටර් 150 ක් විතර. ඔතන කාපට් කරන්න ඕනි. මොකද කඩලා තිබුණ නිසා. මේ පාර කාපට් කරන්න ලොකු උත්සවයක් තියලා මුල් ගලක් තිබ්බා. ඒ උත්සවයට ලක්ෂ ගාණක් යන්න ඇති. මේ වගේ විහිළු කරනකොට මට නම් හිනා යනවා. මේ කාලේ කෙරුණ සමහර වැඩවලට හිනා වෙනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ.
Q භාණ්ඩාගාර බැඳුම්කර සිද්ධිය ඔබ දකින්නේ කෙසේද?
ඇත්තෙන්ම මේක මහා බැංකු මංකොල්ලයක් වගේ. මහා වංචාවක්. ඒකේ අනෙක් පැත්ත අධිවේග මාර්ගය ඇති කිරීමත් මහා මංකොල්ලයක්. මට හිනා වුණේ මට මඩ ගැහුවේ හයිවේ වලින් මගේ සාක්කුවට 90 ක් ගියා අපට 10 කින් මේක කරන්න පුළුවන් කියලා. අපි හදන්න ගිය ක්‍රමවේදයට වඩා අඩු වියදමක් වැය කරනවා කියමින් ප්‍රමිතිය අඩු කරලා මංතීරු ගණන අඩු කරලා උස අඩු කරලා පස් පුරවලා හැදුවා. අපි හදන්න හැදුවේ පරිසරය සුරකින ආකාරයේ ගංවතුරට ඔරොත්තු දෙන ආකාරයේ මාර්ගයක්. එහෙත් මෙයාලා මේක කරලා තියන හැටියට මට දැනෙන්නේ නම් එතරම් හොඳ තත්ත්වයක් නොවේ. මේ ගනුදෙනු පිළිබඳව නම් අපට කිසිම ආකාරයකින් සෑහීමකට පත්වෙන්න බෑ. අපි මේකට කියන්නේ මහා හයිවේ රොබරිය කියලයි.
Q මෙවර මැතිවරණයට සන්ධානයට මුදල් ලැබුණේ කොහෙන්ද?
අපේ අධාරකරුවන්ගෙන්. සන්ධානයට ආධාර දෙන්න මිනිස්සු ඉන්නවා. අපි බොහොම අමාරුවෙන් තමයි කරගෙන යන්නේ. ඔයාලට පේනව ඇතිනේ අපේ දැන්වීම් යන්නේ බොහොම අඩුවෙන්. ඒත් එ.ජා.පය ජ.වි.පෙ මොන තරම් මුදල් වියදම් කරනවද කියලා අපට පේනවනෙ.
Q ඔබේ පාර්ශ්වයට තිබූ ලොකුම චෝදනාවක් තමයි රාජ්‍ය මාධ්‍ය අවභාවිත කළා කියන එක.....
හහ්... හහ්හා... දැන් කොහොමද? හහ්....හහ්... මට අහන්න තියෙන්නේ ලොකු හිනාවක් දාලා දැන් කොහොමද? කියලා අහන එක විතරයි.
Q ඔබ ජනාධිපතිවරණය පරාජයට පත්වුණේ ජාත්‍යන්තර කුමන්ත්රණයක ප්‍රතිඵලයක් ලෙසද?
මේ අය අනිවාර්යයෙන්ම නොයෙක් විදියට බලපෑම් සිදු කළා. මම ඒ රටවල් නම් කරන්න යන්නෙ නෑ. නමුත් මේය අය ඉතාම දරුණු ලෙස බලපෑම් කළා. එය අපට පැහැදිලි වෙලා ඉවරයි.
Q ඔබ බලයට පත් වුවහොත් FCID එක ඉවත් කරනවද?
ඇත්ත වශයෙන්ම FCID එක තියන එක හොඳයි. ඒකෙ පරිපාලන ක්‍රමවේදය වෙනස් විය යුතුය. FCID එක සම්බන්ධයෙන් නොයෙක් අදහස් අපේ පාර්ශවයේ තියනවා. සමහරු කියනවා මෙය මේ ආකාරයෙන්ම තබා ගත යුතුයි කියලා. මොකද මේ මාස 7 ට කරපු අපරාධ පිළිබඳව සොයා බලන්න FCID එකක් නෙවෙයි හතරක් දාන්න වෙයි කියලයි කියන්නේ. ඒත් මේක පළිගැනීම් කරන තැනක් නොවෙන්න ඕනි. මොකද මට වෙලාවක් නෑ පළිගනිමින් ඉන්න. ඒ නිසා මේ පිළිබඳව අපි සාකච්ඡා කරලා හැමදෙනාගෙම අදහස් අරගෙන ක්‍රියා කරනවා. හැබැයි අපි සොයන්න තියන සියලු දේ ගැන නීත්‍යානුකූලව සිදු කරනවා. මේ කටයුතු නිසි ක්‍රම වේදයකට කරන්නයි අපි බලාපොරොත්තු වෙන්නේ.
Q අවසාන වශයෙන් ඔබ අගමැති වුවොත් අපට දකින්න ලැබෙන්නේ ජනාධිපති මහින්ද රාජපක්ෂ වගේම අගමැති මහින්ද රාජපක්ෂ කෙනෙක්ද?
ඔව් .... ජනාධිපතිවරයා වගේම තමයි. ඊට වඩා වෙනස් වෙන්න විදියක් නෑනෙ. මහින්ද රාජපක්ෂ වෙනස් වෙන්නෙ නෑ. මහින්ද රාජපක්ෂ අගමැති වුණත් ජනාධිපති වුණත් මන්ත්‍රී වුණත් පැරදුණත් මහින්ද රාජපක්ෂ කියන්නේ මහින්ද රාජපක්ෂමයි.