Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 12 වන බ්‍රහස්පතින්දා
2024 දෙසැම්බර් මස 12 වන බ්‍රහස්පතින්දා
දේවත්වය සහ නොපෙනෙන බලවේග පිළිබඳව විවිධ මතිමතාන්තර කාලාන්තරයක් මුළුල්ලේ සිට අප සමාජය තුළ සාකච්ඡා වන ප්‍රබල මාතෘකාවක් බවට පත්වී ඇත. ඇතැමුන් සිය නමට ජනප්‍රියතාවයක් ලබා ගැනීම සඳහාම දෙවියන් ඇතුඵ නොපෙනෙන බලවේග බොරුවක් මුලාවක් බවට පැවසීමට මාධ්‍ය යොදා ගනී.
එහෙත් දෙවියන් පිළිබඳව සමස්ත සමාජය තුළ පවතින්නේ භක්තිමත් විශ්වාසයකි. එය මිනිස් වර්ගයාගේ ආරම්භයේ සිට පැවතෙමින් අනතුරුව ආගමික ශාස්තෘවරුන් පහළවීමෙන් පසුව එම ආගමික දර්ශනයන් මගින් තහවුරු කරගනිමින් දේවත්වය වන්දනාමානයට පාත්රවී ඇත.
එහෙත් නවීන විද්‍යාව හිස දරාගෙන සිටින්නන්ට මෙය උමතුවකි. එයට හේතුවක්ද ඇත. එනම් දෙවියන්ගේ නාමයෙන් ජීවත් වන ජාවාරම්කරුවන්ගේ දේවාල නැමති අලෙවිසැල් නිසාය. මෙයට වඩාත් නැඹුරු වී ඇත්තේද බෞද්ධයන් වීම කණගාටුවෙන් හෝ සඳහන් කිරීමට සිදුවී ඇත.
එබැවින් දෙවියන් හා නොපෙනෙන බලවේග පිළිබඳව සිය අත්දැකීම් මගින් තොරතුරු සොයා ගනු ලැබූ විචිත්‍ර ධර්ම කථික ශාස්ත්‍රවේදී රාජකීය පණ්ඩිත අති පූජ්‍ය දොඩම්පහල රාහුල හිමියන් 'අද' සමගින් සිය අදහස් පළ කළේ මෙලෙසිනි.
Q බෞද්ධ දර්ශනය අනුව දේවත්වය අකැපද?
කොහොමද එහෙම වෙන්නේ. බුදුදහමේ පෙන්වා දෙන විදිහට බෝධි සත්ත්වයන්ට මිනිස් ලෝකයට එන්න කියල ආරාධනා කරන්නේ දෙවිවරු. ඒ අනුව තමයි පස්මහ බැලුම් බලලා මේ ලෝකයට වැඩියේ. එතකොට මනුස්ස ලෝකයට එන්නේ දෙවි කෙනෙක්. ඒ වගේම තමයි ජේසුස් වහන්සේ ගැන කතා කළොත් එතුමා දෙවියන්ගේ පුත්‍රයා ලෙසටයි හදුන්වන්නේ. ජේසුස් ඉපදුනේ කන්‍යා මරිය මව්තුමියගේ කුසෙන්. ඒ ගැන අද මිනිස්සු ප්‍රශ්න කරනවා. ඒ වුණාට සත්‍ය ඒකයි. අපේ බෝසත් උපත සිදුවන්නෙත් ඒ ආකාරයෙන්මයි.
මේක බොහොම සරල ප්‍රශ්නයක්. සිදුහත් උපත සිදුවෙනකොට මහාමායා දේවියගේ වයස ගණනය කරල බැලුවොත් වයස අවුරුදු හතළිස් පහක් වෙනවා. අන්න ඒ නිසයි මව සති පහක් වගේ කාලයක් ඇවෑමෙන් මිය යන්නේ. වෛද්‍ය විද්‍යාව දියුණු මේ වගේ කාලයකත් වයස අවුරුදු තිස්පහ ඉක්මවූ කාන්තාවකට දරුවෙක් හම්බ වෙනවයි කියන්නේ යම් මට්ටමක ජීවිත අවදානමක්.
ඒ වෙනකොට සුදොවුන් රජතුමාගේ වයසත් පනහ ඉක්මවලා. ඉතින් මුළු ලෝකයටම සැබෑ සත්‍ය පෙන්වා දෙන්න බුදු බව ලබපු ඒ වගේ මොළයක් මවන්න අර වගේ මනුස්සයෙක්ගේ ජානවලට පුළුවන්ද? සිදුහත් උපතේ ආරම්භයේ ඉඳල අපට දෙවියෝ සම්බන්ධයි. ඒකේ තර්කයක් නැහැ.
Q ඒ වුනාට ඇතැම් බෞද්ධයන්ම දේවත්වය උපහාසයට ලක් කරනවා. එය බොරුවක් බව පවසනවා.
බුදුරජාණන් වහන්සේ දෙවියන්ට ධර්මය දේශනා කරන්න රාත්‍රී දහයේ සිට දෙක දක්වා කාලය වෙන්කරල තිබුණා. දෙවියෝ කියන්නේ අමනුෂ්‍යයෝ කොට්ඨාසයක්. අපේ ත්‍රිපිටකයට ගියහම ප්‍රේතවත්තු, විමාන වත්තු කොටස් දෙකක් සඳහන් වෙනවා මෙයින් විමාන වත්තු මුළුමනින්ම දෙවියන් ගැනයි කියවෙන්නේ.
මෙයට අමතරව සංයුක්ත නිකායේ දේවතා සංයුක්තය කියල දෙවියන් සඳහාම දේශනා කරපු ධර්ම කොටසක් තියෙනවා. බොහොම සරලව ගත්තොත් මංගල සූත්‍රය බුදුහාමුදුරුවෝ දේශනා කළේ දෙවියන්ටයි. එහෙමනම් දෙවියෝ කියන්නේ බෞද්ධ දර්ශනයට අනුව සංකල්පයක් නොවේ. මනසින් මවාගත් එකක් නොවේ. එය මේ ලෝකයේ සැබැවින්ම පවත්නා දෙයක්. මනෝ විකාරමය දෙයක් නොවේ.
Q ඇතැමුන් දෙවියන් දැක්කා, දෙවියන් සමග කතා කළා කියල කියනවා. මෙහි සත්‍යයක් තියනවද?
නැහැ. එය මනෝ විකාරමය තත්ත්වයක්. එවැනි කතාවල කිසිම සත්‍යයක් නැහැ. දෙවියන් පිළිබඳව සිදුවීම් වලදී අපි පරිස්සම් වෙන්න ඕන. මන්ද මේ සිදුවීම් වන්නේ දෙවියන් නිසාද යන්න අප ඥාණාන්විතව සොයා බැලිය යුතු වෙනවා. අපි මේ පිළිබඳව තර්කානුකූලව, විමර්ශනශීලීව විමසා බැලුවොත්, අපට පෙනෙන්න තියෙන දෙයට වඩා නොපෙනෙන දේවල්වල බලපෑම වැඩි බව පෙනී යනවා.
බොහොම සරලව මේ ගැන හිතන්න. ඔක්සිජන් අපව ජීවත් කරවනවා. නමුත් එය අපට පෙනෙන්නෙ නැහැ. අපේ ශරීරය ඇතුළෙ සිදුවන ක්‍රියාවලියේ අඹ මල් රේණුවක තරම් දෙයක්වත් අපට පෙනෙනවද? සියල්ලක්ම පරීක්ෂණය කරලයි හොයාගන්නේ. මට හිතෙන දේ මට පේන්නෙ නැහැ. පේන්නෙ කොහොමද කියන එක මට පේන්නෙ නැහැ.
ඇහෙන්නෙ කොහොමද කියන එක මට පේන්නෙ නැහැ. නමුත් මේ හැමදෙයක්ම පෙනිල නෙමේ මට ලැබිල තියෙන්නේ. නමුත් මේ හැමදෙයක්ම නොපෙනෙන්න මට ලැබිල තියෙනවා. ඒ නිසා බොහොම සරලව කිව්වොත් දෙමව්පියෝ දෙන්න හැරෙන්න අපිට ජීවත් වෙන්න කාගෙ හරි උදව්වක්, හයියක් ලැබිල තියෙනවා.
Q ඒ කියන්නේ නොපෙනෙන බලයක්?
ඔව් කවුරුහරි ඔබෙන් ඇහැව්වොත් ඔබට ජීවත් වෙන්න කවුද උදව් කළේ කියල. අතේ ඇඟිලි දහයකටත් අඩු ප්‍රමාණයක් නම් කරන්න ඔබට බැරුව යාවි. හැබැයි අපි තැනක ඉන්නවා. මේතාක් දුරට මේ ගමන ඇවිත් තියෙනවා. අපි මෙහෙම හිතමු. ඔබ එක ඉරියව්වකින් ඉඳගෙන ඉන්නවා. ඔබට එකපාරටම එම ඉරියව්වෙන්ම නැඟිටින්න පුළුවන්ද? බැහැ එයට ඔබට යම් ආධාරකයක් අවශ්‍ය වෙනවා. එය ලැබෙනවා. නමුත් එය අපට පෙනෙන්නේ නැහැ.
ආධාරකයක් අපට ලැබිල තියෙනවා. අන්න එතන තමයි මේ මනස ක්‍රියාත්මක වෙන්නේ. අපිට පෙනෙන ඇසට වඩා එහා ගිය දෙයක් ඕන වෙනවා. එතැනදි බෞද්ධ දර්ශනයේ හැටියට දිව්‍ය චක්කු දියුණු කළහම ධ්‍යානලාභීන්ට අපට උදව් කරන අය පේනවා. දේව සමාගම්වල අයවත් ඔවුන්ට දකින්න පුළුවන් වෙනවා. අපිට යම් පරිසරයකට ගියහම එතැන මොකක් හරි දෙයක් ඇතියි කියල දැනෙනවා, හිතෙනවා. අන්න ඒ වගේ බලවේගයක් අපට නොපෙනන ලෙස තියෙනවා.
මෙය අදෘශ්‍යමානයි කියල කියන්න බැහැ. දෘශ්‍යමාන කියන්නේ පෙනෙන, අදෘශ්‍යමාන කියන්නේ නොපෙනෙන. මට නොපෙනෙන නිසා එයට අදෘශ්‍යමාන කියල කියන්න බැහැ. අන්ධ වූ සියල්ලන්ටම අපව අදෘශ්‍යමානයි. ඇස් නොපෙනෙන කෙනෙකුට කියන්න පුළුවන්ද රූප නැහැයි කියල. කන් නොඇසෙන කෙනෙකුට කියන්න පුළුවන්ද ශබ්ද නැහැයි කියල. අප කළයුත්තේ ඔවුන්ව දියුණු කරන එකයි. ඔවුන්ගේ ඒ දියුණු වීමත් සමගම අපට යමක් සොයාගන්න පුළුවන්. ඇතැම් විට ඔවුන් අපටත් වඩා හොඳින් පෙනෙන, ඇසෙන මනසින් දියුණු තත්ත්වයකට පත්වූ අය වන්න පුළුවන්.
ස්වභාවයෙන්ම මනස දියණු වූ පුද්ගලයන් උපදිනවා. ඒ අයට අනුන්ගේ හිත්වල තියෙන දේ කියන්න පුළුවන්. අනාගත වක්තෘවරුන් ලෙසත් මොවුන්ව හඳුන්වනු ලබනවා. එඩ්ගා කේසි එවන් චරිතයක්. ඔහු අවුරුදු දෙසීයකට කලින් කියනවා ඉන්දියාවේ මහත්මා ගාන්ධි කියල කෙනෙක් උපදිනවා, ඔහු වෙඩි වැදිල මැරෙන බව.
මහත්මා ගාන්ධිතුමා වත් එය විශ්වාස කළේ නැහැ. නමුත් සිද්ධ වෙන්නේ එයයි. කාලය අතරින් ගමන් කරනවා, කාලය මනිනවා කියන්නේ ඔය දේටයි. අපි මැරෙන්නේ එළඹෙන පැය විසිහතර ඇතුළත වෙන්න පුළුවන්. මේක දකින කෙනා ඔන්න කියනවා අහවල් කාලයේදී අහවලා මැරෙනවා කියලා. ඒ ඔහුගේ දැකීමේ ශක්තිය තුළින් සිදුවන දෙයක්. අපත් ඒ ශක්තිය වර්ධනය කරගත යුතුයි. එහෙම නැතුව එය විවේචනය කරන එක නිවැරදි ක්‍රියාවක් නොවේ.
Q දෙවියන් හා අපේ පන්සල අතර අනාදිමත් කාලයක සිට විශාල බැඳීමක් තියෙනවා. බොදුනුවන් දේවත්වය පිළිබඳව විශ්වාස කරන්න එයත් එක් හේතුවක් නේද?
දෙවියන් පිළිබඳව අපේ විහාර සංස්කෘතියේ ප්‍රබල කතන්දර තියෙනවා. මම පැවිදි වුණේ මාතර බඹරැන්දේ කුරුඹුරේ පූර්වාරාම විහාරස්ථානයේදීයි. දේවානම්පියතිස්ස රාජ සමයට අයත් එම විහාරස්ථානය, එක්දහස් නමසිය හතළිස් ගණන්, පනස් ගණන් අතර කාලයේදී භාරව හිටිය වල්පිට ශ්‍රී රතනපාල නායක හාමුදුරුවෝ යන්ත්‍ර මන්ත්‍ර ශාස්ත්‍රයෙන් කටයුතු කරපු ස්වාමීන් වහන්සේ නමක්.
විහාරස්ථානයේ බුදු මැදුරේ මහනුවර සම්ප්රදාය අනුව දේව රූප අඹල තිබුණා. ඒ කාලේ බුදු මැදුර ඇතුළෙම තමයි දේව රූප තිබුණේ. ඒ නායක්කාර වංශික බිසෝවරුන් ආපුවම වන්දනා කරන්නයි. ඒ රූප දිහා එක එල්ලේ බලා ඉන්න අපහසුයි. අදටත් එය එලෙසම පවතිනවා. මේ විහාරස්ථානයේ පැරණි නා ගහක් තිබුණා. මෙය ඉවත් කිරීමේ අවශ්‍යතාවයක් පැනනැගුණා.
ඒ නිසා නායක හාමුදුරුවෝ මේ පිළිබඳව දෙවියන්ට යාතිකාවක් පවත්වලා අවසරය අරගෙන ගස් කපන්නෙක් ගෙනැල්ල ගහ කැපුවා. පවරපු කාර්යය නිසියාකාරව නිම කරපු ඒ මනුස්සයා හාමුදුරුවන්ගෙන් මුදලුත් අරගෙන සිය නිවසට ගියත්, එයාට ගෙදරට ගොඩවෙන්න ලැබිල නැහැ. කකුල් දෙකම පණ නැතුව ඇදගෙන වැටිල තියෙනවා. අවට හිටපු පිරිස ඒ මනුස්සයව උස්සගෙන නැවත පන්සලට ඇවිල්ල නායක හාමුදුරුවන්ට විස්තරේ කියල තියෙනවා.
හාමුදුරුවෝ ලෙඩාව පුටුවක ඉන්දවල කේන්තියෙන් විහාර ගෙට ගිහින් දොර වහගෙන පැය බාගයකට පස්සෙ දොර ඇරගෙන එනකොට අර කකුල් දෙක පණ නැතුව පුටුවේ ඉදගෙන හිටපු මනුස්සයා එකපාරටම නැගිටලා හාමුදුරුවන්ට වැඳල තියනවා. හාමුදුරුවෝ කිසිම කතාබහක් නැතුව මල්ලකට වී මැනල වී ගෝනියත් ඒ මනුස්සයගේ කරට තියල ගෙදර යවල තියෙනවා. මේක සත්‍ය කතාවක්. ඒ කාලේ ඔය සිද්ධිය ඇහෙන් දැක්ක කොල්ලෝ කුරුට්ටෝ අද වැඩිහිටියෝ. ඒ අය තවමත් ඔය ගැන සිහිපත් කරන්නේ හරිම ගෞරවයෙන් යුක්තවයි.
අපේ ගම්වල ගම්භාර දෙවියෝ ගැන ලොකු විශ්වාසයක් තියනවා. හූනියම් දෙවියෝ කියලත් මේ දෙවියන්ව හඳුන්වනවා. ඕවිටිගමුවේ ප්රඥාසාර කියල අපේ නායක හාමුදුරු කෙනෙක් හිටියා. උන්වහන්සේ සතියකට වතාවක් පන්සලට එනවා. ඒ නායක හාමුදුරුවෝ ආපුවහම විහාරයේ වතාවත් ඔක්කොම කරල විෂ්ණු දෙවියන්ට, කතරගම දෙවියන්ට පහන් පත්තු කරනවා.
ඒ වගේම සූනියම් දෙවියන්ටත් පහනක් පත්තු කරනවා. ඒ කාලෙ අපි තරුණ වයසට පිවිසෙන කාලේ. අපිට ඔය ගැන විශ්වාසයක් තිබුණෙම නැහැ. ඒ නිසා දේව විරෝධී ආකල්පයක් තිබුණේ. දවසක් මේ දිහා බලාගෙන හිටපු මම ඇයි මේ දෙවියන්ට පහන් පත්තු කරන්නේ කියල ඇහැව්වා. ‘‘
Q ''පුතේ මම මේ පහන පත්තු කරන්නේ හූනියන් දෙවියන්ට. මේකෙන් මට ලොකු බලයක් තියෙනවා'' කියල උත්තර දුන්නා.
මේ අතර හාමුදුරුවෝ දවසක් කඹුරුපිටියේ ඉඳල පන්සලට එනකොට ආපු බස් එකේ ඉස්සරහ රෝදයක් එකපාරටම ගැලවිල යනවා හාමුදුරුවෝ දැකල තියනවා. ඒක දැකපු හාමුදුරුවන්ට එකපාරටම සිහියට ඇවිල්ල තියෙන්නේ හූනියම් දෙවියන්වයි. රියදුරාට බස් රථය පාලනය කරගන්න බැරිව හිටපු ඒ වෙලාවේ බස් එක ඇදිල ගිහින් කණ්ඩියකට හේත්තු වෙලා නතර වෙලා. කඳු, හෙළි, පල්ලම් සහිත එම මාර්ගයේ වෙන්න තිබුණ විශාල අනතුර වැළකිලා තියෙන්නේ සූනියම් දෙවියන්ගේ පිහිට නිසාම බව හාමුදුරුවෝ පන්සලට ඇවිත් අපි සමග පැවසුවා. ඒත් අපි ඒ ගැන විශ්වාස කළේ නැහැ.
මේ අතරේ එක දවසක් ගමේ ගෙදරක පිරිතක් තිබුණා. හාමුදුරුවෝ කලින්ම පන්සලට ඇවිත් විහාරයේ වතාවත් හමාර කරල, දෙවියන්ටත් සුපුරුදු විදිහට පහන් පත්තු කරල මට කතා කළා. ''රාහුල ඔය එක එක දේවල් ගැන සත්‍යතාවය හොයනවනේ. අද පිරිත් ගෙදරට යමුකෝ. මම දැන් දෙවියන්ට කිව්වා මේ උන්වහන්සේට දෙවියන්ගේ සත්‍ය පෙන්නන්න කියල.''
දැන් අපි පිරිත් මණ්ඩප්පයේ වාඩි වුණා. නායක හාමුදුරුවෝ හිටියෙ මගේ ළඟින්මයි. ටික වෙලාවකින් හාමුදුරුවෝ මට හෙමින් මෙහෙම කිව්වා. දැන් පිරිත පටන් ගන්න මඟුල් බෙරේ ගහන්න හදනකොටම බෙරේ පලු දෙකම පලල යාවි. දෙවියෝ මෙතෙන්ට ඇවිත් තියෙනවයි කියන ලකුණ ඒකයි.
මමත් ඒ දිහා විමසිල්ලෙන් බලාගෙන හිටියා. හාමුදුරුවෝ කිව්ව වගේම පළවෙනි පදේ ගහන්ඩ අත තියනකොටම බෙර පලු දෙක පලල ගියා. එතැනින් පසුව තමයි මම මේවායේ සත්‍යයක් තියෙන බවට විශ්වාස කරන්න පටන් ගත්තේ. මම තුණුරුවන් වඳිනවා වගේම දෙවියන්ටත් ගෞරව කරනවා.
Q කතරගම දෙවියන් පිළිබඳව අප සමාජය තුළ බොහෝ දෙනෙකුගේ විශාල විශ්වාසයක් පවතිනවා. ඒ පිළිබඳව ඔබ වහන්සේට පැවසිය හැකි අත්දැකීම් තියෙනවද?
1987 ඉඳලා 1988 වෙනකම් මේ රටේ තිබුණේ බරපතළ භීෂණ සමයක්. ඒ කාලෙ විශ්වවිද්‍යාලයේ අභ්‍යන්තර ශිෂ්‍යයෙක් හැටියට මම බොහෝ ඈත පිටිසර දුෂ්කර ගම්මානවල වැඩ කරන්න පෙළඹිලා හිටියා. මොකද විශ්වවිද්‍යාල ඒ වකවානුවේ වහලමයි තිබුණේ. පුරාවිද්‍යා චක්‍රවර්ති තිරාණගම රතනසාර හාමුදුරුවන්ව ජේවිපී එකෙන් වෙඩි තියල මරන්නෙත් ඔය කාලෙදියි. ඒ නිසා ඒ හාමුදුරුවන්ගේ පන්සල් බලන්න උනෙත් මටයි. හැබැයි බයක් කියන දෙයක් මගේ හිතේ කොතැනකවත් ගෑවිලාවත් තිබුණෙ නැහැ. මේ හැමදෙයක්ම කරන්න මුදල් අවශ්‍ය නිසා මම බාහිර පන්තිවල ඉගැන්වීම් කළා.
තිස්සමහාරාමයේ තිබුණ විකල්ප කියන පන්තියට මම උගන්වන්න යන්නේ කොළඹින් පිටත්වෙන කතරගම බස් එකෙන්. බස් එක කතරගමට යනකොට පාන්දර තුනහමාර හතර විතර වෙනවා. මම යන්නේ අහවල් තැන නවතිනවා කියල අරමුණු කරගෙන නම් නෙමේ. හැබැයි මට බස් එකෙන් බහිනකොටම කාවහරි මුණගැහෙනවා.
ඒ අය මාව එක්කරගෙන ගිහින් නවාතැන් පහසුකමුත් දීල උදේ දානෙත් පිරිනමල මාව පිටත් කරනවා. මුදල් දුන්නට ගන්නෙත් නැහැ. හැබැයි නැවත වරක් එහි ගියාට ඒ පුද්ගලයාව මට මුණගැහෙන්නෙත් නැහැ. මේ වගේ දවසක් තරුණයෙක් මාව නිවසකට එක්කන් ගිහින් උඩුමහලේ මට ඉන්න සැලැස්සුවා. එහි වයසක ගැහැනු කෙනෙකුත් හිටියා. මම පහුවදා එතැනින් පිටත්වෙලා නැවත පැමිණි දිනෙක ඒ ස්ථානය සොයා බැලුවා. අදටත් මට ඒතැන හොයාගන්න අපහසුයි.
කතරගම කියන්නේ විශ්ව ශක්තිය ප්රබලව පවතින ප්‍රදේශයක්. කතරගම දෙවියන්ගෙන් පිහිට ලැබූ අය බොහොමයි. එවැනි පුද්ගලයන් මට අපමණවත් හමුවී තිබෙනවා.
Q සෝම හාමුදුරුවෝ ඉන්දැද්දී දේව සංකල්පයට දැඩි ප්‍රහාරයක් එල්ල කළා නේද?
ඒ උන්වහන්සේගේ මතය. නමුත් මම උන්වහන්සේව මුණගැහුණු අවස්ථාවක ඒ මතය නිවැරදි නොවන බව පැහැදිලිවම පෙන්වා දුන්නා. උන්වහන්සේට එය පිළිගන්නත් සිදුවුණා. නමුත් එය සමාජයට ගියේ නැහැ. උන්වහන්සේ අපවත් වුණේ කවුරුත් නොසිතූ ආකාරයටයි. දේව බලය කියන්නේ අප නොසිතන වෙලාවල් වලදී අපට පිහිටට පැමිණෙන අපූරු බලයක්.
මම කිසිවෙක්ගෙන් යැපෙන්නෙක් නෙමේ. ඒ වගේම මම කිසිම කෙනෙක්ගෙන් මට අහවල් දේ ගෙනත් දෙන්න කියල ඉල්ලීම් කරල නැහැ. ඒ වගේම මම කිසිම කෙනෙකුට වේලකටවත් කරදරයක් කරල නැහැ. මම උත්සාහයෙන් නැගිට්ට කෙනෙක්. මම ධර්මය හොඳින් අදහනවා. පිළිවෙත් රකිනවා. ඒ නිසා දෙවියන්ගේ පිහිට මට තියෙනවා. මට දෙවියන් පිහිට වෙන්නේ දෙවියන්ගේ හොඳ හින්දා නෙමේ. මගේ හොඳ හින්දයි. මේ පිළිබඳව බුදු වදනින් රතන සූත්‍රයේ මේ විදිහට පවසලා තියෙනවා
'තස්මාහි භූතා නිසාමේථ සබ්බේ
මෙත්තං කරෝථ මානුසියා පජාය
දිවාච රත්තෝච හරන්ති යේ බලිං
තස්මා හි තේ රක්ඛත අප්ප මත්තා'
මේ ඇසට නොපෙනෙන අහසෙහි සිට පොළොව දක්වා සිටින සියලුම දේව කොට්ඨාස මතක තියාගනිල්ලා නුඹලා මෛත්‍රී සහගතව මේ මිනිස් ප්‍රජාව දිහා බලන්න ඕන. මක්නිසාද, දිවා රෑ දෙකෙහි මොවුන් පිංකම් වල යෙදෙනවා ඔබලාට පිං දෙන්න. ඒ නිසා මේ මිනිස් ප්‍රජාව නුඹලා ආරක්ෂා කළ යුතුයි. කවුද මේ කියන්නේ. බුදුහාමුදුරුවෝ. කාටද? දෙවියන්ට. ඉතින් අපට පුළුවන්ද දෙවියන් නැහැයි කියල කියන්න. අප ගුණ යහපත්කමින් ප්‍රභාමත් වෙන තරමට දෙවියන් අපට සමීප වෙනවා. එය මා අත්දුටු සත්‍ය අත්දැකීමක්.
සාකච්ඡා සටහන - අතුල රංජිත් වෙදමේස්ත්‍රිගේ
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd