Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 14 වන සෙනසුරාදා
2024 දෙසැම්බර් මස 14 වන සෙනසුරාදා
විනයගරුක රියදුරන් තේරීම සඳහා නව නියමු වැඩසටහනක් ශ්‍රී ලංකා පොලීසිය විසින් මහනුවර නගරයේදී ගතවූ සතිය පුරා පැවැත්විණි. මේ එම වැඩසටහන සම්බන්ධයෙන් සහ මාර්ග අනතුරු සම්බන්ධයෙන් 'අද' මහනුවර පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති එම්.ඩබ්ලිව්.එස් උමින්දසිරි මහතා සමග කළ අදහස් පෙළගැසීමකි.
Q මේ වැඩසටහන පිළිබඳ පැහැදිලි කළොත්?
මේක පොලිස්පති පූජිත ජයසුන්දර මැතිතුමන්ගේ සංකල්පයක් අනුව ක්‍රියාත්මක කළ දෙයක්. එයින් අදහස් කළේ මහාමාර්ගයේ රිය පැදවීමේදී රියදුරන් මාර්ග නීති පිළිපදින ආකාරය පිළිබඳ නිරීක්ෂණය කරමින් ඔවුන් නීතිගරුක ආකාරයෙන් කටයුතු කරන තැනට යම් පෙළඹවීමක් කරන්නයි. ඒ අනුව එම රියදුරන් ඇගයීමක්ද සිදුවුණා. එය අනෙක් රියදුරන්ට පූර්වාදර්ශයක්ද වුණා.
අනික එයින් විනීත රියදුරන් තවදුරටත් දිරිමත් කරමින් ඔවුන් අතින් සමාජයට එම පණිවුඩය ව්‍යාප්ත කරවීමට අපි උත්සාහ කළා. තවත් පැත්තකින් පොලීසියත් රියදුරු ප්රජාවත් මහජනතාවත් අතර හොඳ හිත වර්ධනයටත් අවස්ථාවක් වේ යැයි අපි හිතනවා.
Q මේ කටයුත්ත සිදුකළ ආකාරය පැහැදිලි කළොත්?
මහනුවර නගරය කේන්ද්‍ර වන පරිදි අපි අගෝස්තු 15 වන දින සිට 20 දින දක්වා මෙම වැඩසටහන ක්‍රියාත්මක කළා. එතනදි අපි සිවිල් කණ්ඩායම් 5ක් ජනාකීර්ණ ස්ථානවල යොදවා ප්‍රධාන මාර්ගයේදී රියදුරන් රථ පදවන ආකාරය සියුම් ලෙස නිරීක්ෂණය කළා.
මෙහෙම හිතමුකෝ. අපි එක් නිර්ණායකයක් හැටියට පදික මාරුවේදී අදාළ නීතියට අනුව රියදුරන් දක්වන ප්‍රතිචාරය විමසුමට ලක් කළා. ඒ අනුව අපේ සිවිල් කණ්ඩායම එවැනි ස්ථානයන්හී රැඳී ධාවනය වන වාහන නිරීක්ෂණය කර වඩා හොඳින් ධාවනය කළ වාහනය පිළිබඳ විස්තර පොලිස් ස්ථානය අසල නගරයේ රැඳී සිටි නිලඇඳුම් පොලිස් කණ්ඩායමට දුරකථනයෙන් දැනුම් දෙනවා.
ඒ අය එතෙනදි වාහනය නතර කරනවා. නතර කරලා එම රියදුරු වෙත ගිහින් කතා කරලා ඔහු අගය කරනවා. එයින් පස්සේ විනීත රියදුරා ලෙස ස්ටිකරයක් එහි අලවනවා. ඔහුට තෑගි වවුචරයක් ප්රදානය කරනවා. එතැනදි අපිට අනුග්‍රහයක් ලෙස AMW ආයතනය විසින් තෝරාගත් විනීත රියදුරන්ට රුපියල් තුන්දහසක තෑගි වවුචරයක් ප්රදානය කළා.
ඒ අනුව තෝරාගත් රියදුරන් 300කට රුපියල් ලක්ෂ නවයක තෑගි වවුචර් අපි ලබාදුන්නා. සමහර වාහන නතර කළාම හරි අපූරු අත්දැකීම් සිදුවුණා. ඇතැම් අය තිගැස්සුණා. මම මෙතරම් හොඳට රිය පදවාගෙන ඇවිත් මා නතර කළේ ඇයි කියලා ඔවුන් හිතුවා.
එවැනි අත්දැකීමක් පැහැදිලි කරගැනීම මැනවයි සිතා 'අද' මේ සම්බන්ධයෙන් පළමු දිනයේ පළමු වටයේ පළමුවෙන්ම විනයගරුක රියදුරු ලෙස තෝරාගත් මහනුවර, ගුරුදෙණියේ එන්.එම් නලීන් බණ්ඩාර මහතාව සම්බන්ධ කර ගතිමු.
ඇත්තටම මේක අපූරු අත්දැකීමක් වුණා. සාමාන්‍යයෙන් වාහනයක් නතර කරලා පොලීසියෙන් අල්ලන්නේ අප වරදක් කළ නිසා කියන එකයි අපේ විශ්වාසය. අපි එහෙම අත්දැකීමක්නෙ මෙතරම් කාලයක් ලැබුවේ. මම පෞද්ගලිකවම හිතුවා එහෙනම් මා අතින් වරදක් සිදුවෙන්න ඇති කියලා. නමුත් මා දැනුවත්ව එහෙම නොකළ බවත් විශ්වාසයි.
''අනික පොලීසිය මගේ වාහනය නතර කරන විට එතැන නිලඇඳුමෙන් සැරසුණු වැඩි දෙනෙක් හිටියා. සාමාන්‍යයෙන් නිලධාරීන් දෙන්නෙක් රථවාහන නතර කර පරීක්ෂා කරන ක්‍රමයක්නේ අපට දැක පුරුදු. එතැන කැමරාවක් තිබුණා. මම හිතුවා කවුරු හරි මත්කුඩු දාලා මම අල්ලන්න ප්ලෑන් කරලා ඇති කියලා. එහෙම නැත්නම් ඔය ටීවීවල මාධ්‍යයේ පෙන්වන සීඅයිඒ වැටලීමකට මමත් අල්ලනවාදැයි සැකයක් හිතුණා. ඇයි ඩීඅයිජී මහත්තයත් ඉන්නවානේ. මම ඇහුවා ඇයි මාව නතර කළේ කියලා.
ඒ අය සිනහවෙලා කිව්වා ඔබ විනයගරුක රියදුරෙක්. අපි ඔබව නිරීක්ෂණය කළා. මෙතරම් සෙනඟ අතර ඔබ වාහන නීති කඩ නොකර විනයගරුකව රිය ධාවනය කළා. අපි ඔබට සුබපතනවා කියලා විනීත රියදුරෙක් කියන ස්ටිකරයක් මගේ වාහනයේ ඇලෙව්වා. තෑගි වවුචරයක් ලැබුණා.
ඇත්තටම මේක හොඳ අවස්ථාවක්. හැමදාම පොලීසියට මිනිසුන් දොස් කියනවා. ඒත් පොලීසිය රියදුරන් සමග හොඳ හිත බෙදාහදා ගනිමින් මේ කරන උත්සාහය අගය කළ යුතුයි. මම කියන්නේ මේක දීපව්‍යාප්තව කළ යුතුයි කියන එකයි.
අනික සල්ලි දීලා වාහන ගන්නේ අපි. අපි ඒවා ගන්නේ ආණ්ඩුව කියනවට හෝ පොලීසිය කියනවට නෙවෙයිනේ. ඊළඟට ඒවා පදවන්නෙත් අපි. අපි යන්නෙ අපේ ගමන්බිමන් නම් අපි ඉවසීමෙන් කල්පනාවෙන් අනික් අයට කරදරයක් නොවන විදිහට ධාවනය කරන්න අවශ්‍යයි. ඒ බර පොලීසියට පවරලා හෝ එයින් අනෙක් ජනතාවට හානියක් කරන්න අපට අයිතියක් නැහැ. ඒ නිසා හැම රියදුරෙකුම විනයගරුක විය යුතුයි කියන පණිවුඩය මට තියෙනවා''
නැවත උමින්දසිරි මහතාට සවන් දෙමු.
Q පොදුවේ නගර තුළ මෙතරම් වාහන තදබදයක් ඇතිවන්නේ ඇයි?
මම මහනුවර ගැන කියනකොට ඒක උදාහරණයක් හැටියට සමස්ත රටේ වාහන තදබදය ගැනත් හිතාගන්න. මහනුවර නගරයේ දිනකට ජනගහනය ලක්ෂයේ සිට ලක්ෂ තුන දක්වා ගැවසෙනවා. වාහන ලක්ෂ තුනක ප්‍රමාණයක් අඩුම තරමින් ගමන් කරනවා. ලංකාවේ මධ්‍යම තැන පිහිටි නගරය කිව්වත් නිවැරදියි. ඒ කියන්නේ නුවරඑළියට ගියත්, යාපනයට ගියත් නුවර හරහා යන්න අවශ්‍යයි. අනික සාම්ප්‍රදායික ගම්මාන පිහිටි නගරයක් නිසා ජනතාව හැමදාම එකසමානව ඉන්නවා. එවැනි නගරයක රථවාහන පාලනය පහසු නැහැ. නුවර ගත්තොත් නගර සීමාව තුළ පාසල් 14ක් තියෙනවා. සිසුන් 75000ක් පමණ නගරයට එනවා. මේක අනෙක් ප්‍රධාන නගරවලටත් බලපාන දෙයක්. එහෙම වෙනකොට රට පුරා රථවාහන කළමනාකරණය මෙහෙයවීම ජනතාව හිතන තරම් පහසු කටයුත්තක් ලෙස හිතන්න බැහැ.
ප්‍රධාන නගර ගත්තාම පාරවල් ලොකු වුණේ නැහැ. ගුවන් පාලම් ඉදිවන වේගය අඩුයි. අනික තැනක එවැනි යමක් තිබුණත් ජනතාව ඒවාට නැඟ පාර මාරු වෙන්න කම්මැලියි. එහෙම නම් කොහොමද මිනිසුන්ගේ ආරක්ෂාව සහ වාහන තදබදය අවම කරන්නේ?
හැමකෙනකුගේම කැපවීම අවශ්‍යයි. පොලීසියට කළ හැක්කේ වැරදි කරන අයට නීතිය ක්‍රියාත්මක කිරීම නම් ජනතාවට කළ හැක්කේ නීතියට පටහැණි නොවන ආකාරයෙන් තමන් පාලනය කර ගැනීමයි. ඇයි මහ මග රිය පදවන විට ඒ වගකීම හිතන්නේ නැත්තේ. ඒක ඒ අයගේ සදාචාරය පිළිබඳ ප්‍රශ්නයක්.
Q පොලීසිය හිටියොත් වාහන තදබදය වැඩියි කියලා මිනිස්සු අතර මතයක් තියෙනවා. එහෙම වෙන්නේ ඇයි?
ඒක වැරදියි. පොලීසිය යන්නේ එවැනි රථවාහන තදබදයක් තියෙන තැන්වලටයි. එවිට අපි එතන රැඳී වාහන නිසි ලෙස හසුරුවනකොට ජනතාව කියන්නේ අපි ඉන්න නිසා රථවාහන තදබදය වැඩියි කියලයි.
නමුත් තදබදය වැඩි තැන්වලට ගිහිනුයි අපි ඒ හැසිරවීම කරන්නේ. අනවශ්‍ය තැන්වල ගිහින් වාහන හසුරුවන්න අවශ්‍ය නැහැනේ. එහෙම පාලනය නොකරන විට චණ්ඩි ටික පැනගෙන යනවා කියල චෝදනා කරන්නෙත් රියදුරන්මයි. කෝ පොලීසියවත් නැද්ද අහන්නෙත් ජනතාවයි, රියදුරු මහත්තුරුයි කියන එකත් අමතක කරන්න හොඳ නැහැ.
ඔය කෙනෙක් දෙන්නෙක් හැර හැම යතුරුපැදිකරුවෙක්ම, ත්‍රිරෝද රථකරුවෙක්ම මාර්ග නීති ගරු කරන්න සූදානම් නැහැ. ඒ අය වෙනත් වාහනයකට ඉඩ දෙන්නේ නැහැ. තමන් ගැන විතරයි බලන්නේ. ඒ තරමටම අකාරුණිකයි.
අද බහුතරයක් රියදුරන් තවත් කෙනෙක්ගේ වාහනය පසුපසින් යන්න කැමති නැහැ. තියෙන්නේ පුදුම හදිස්සියක්. පුදුම තරගයක්. හැම වෙලාවෙම බලන්නේ තමන්ට ඉදිරියෙන් යන කෙනා ඉස්සර කරන්න. ඇයි අනතුරු සිදුවන බව දැන දැන මේ තරම් හදිස්සි.
විනයක් නැතිකම තවත් අර්බුදයක්. අනෙක සදාචාරවත් නැහැ. තවත් පැත්තකින් රටේ නීතිය ඒ අය ගරු කරන්නේ නැහැ. සමහර අය ඉන්නවා තමන්ගේ වාහනය පාරට වැඩි කොටසක් තියලා වාහනය නතර කර යතුරු දමා යනවා. එවිට රථවාහන තදබදය වැඩි වෙනවා. යතුරුපැදිකරුවන් වැඩි දෙනෙකුගේ ධාවනය බලපුවාම ඒ අය තමන්ගේ ජීවිත පරදුවට තබා අනුන් අමාරුවේ දමාගෙන යන ගමනකයි යෙදෙන්නේ.
Q පදික ජනතාවගේ හැසිරීම කෙබඳුද?
පදිකයන්ගේ පැත්තෙනුත් වැරදි නැත්තේ නැහැ. වාහන අස්සෙන් රිංගනවා වගේම මගී ජනතාවත් වාහන තදබදයකදී නොමනා ආකාරයෙන් කටයුතු කරනවා. ඇතැමුන් දෙපැත්ත ආරක්ෂිත වැටෙන් පනිනවා.
ඇතැමුන් පාර මාරු වීමට නිසි මංතීරු නොසලකා තමන්ට අවශ්‍ය තැන් යොදා ගන්නවා. අපි එවැනි සමහර අනාරක්ෂිත තැන්වලින් පාර මාරුවෙන්න එපා යැයි දැන්වීම් ප්‍රදර්ශනය කර තිබෙනවා. එවැනි අය ඒ නීතිය පිළිපදින්න අකමැති නම් අපි ඒ අය අධිකරණයට ඉදිරිපත් කරනවා.
Q සුළු අනතුරකදී සලකුණු කර වාහනය ඉවත් කරගත හැකිද?
ඔව්. සුළු අනතුරකදී වාහන දෙකේ ටයර් සලකුණු කර ඉවත්කර ගැනීමට රියදුරන්ට පුළුවන්. රියදුරු බලපත්‍රය දෙන්නේ වාහන පැදවීම පිළිබඳ ප්‍රවීණත්වය තියෙනවා කියන්න විතරයි.
ඒ ලියවිල්ල තියාගෙන සදාචාර විරෝධී ආකාරයෙන් තමන්ට අවශ්‍ය පරිදි අනෙක් රියදුරන්ට, ජනතාවට හානිකර පරිදි රිය පදවන්න කාටත් අවසර දීලා නැහැ. එයින් ඒ පුද්ගලයාගේත්, එම ලියවිල්්ලේත් වටිනාකම නැතිවෙලා යනවා.
Q රටේ කොහේ ගියත් නියමිත වෙලාවට ගමනාන්තයට යාමට වාහන තදබදය සුපුරුදු පරිදි අවහිරයක් වෙලා තියෙන බව ජනතාව පවසනවා. මොකක්ද කඩිනම් විසඳුම?
පොදු වාහනයක රැකියාවලට යන අයත්, තමන්ගේ වාහනයකින් රැකියාවට යන අයත් තමන්ගේ කාල කළමනාකරණය ගැන හිතන්න අවශ්‍යයි. හැතැක්ම දහය යන්න විනාඩි තිහක් කීවාට ඒක නිවැරදි නොවන්න පුළුවන්. වාහන තදබදය හැමදාමත් ඇතිවිය හැකි බව ජනතාව සිතිය යුතුයි.
තමන්ගේ වාහනයක ගියත්, පොදු වාහනයක ගියත් ඒ අනුව තවත් විනාඩි පහළොවකට විස්සකට කලින් නිවසින් පිටත් වෙනවා නම් මේ අර්බුදය ජයගන්න පුළුවන්. වෙනත් ක්ෂණික විකල්ප නැහැ. අනික ඒ විසඳුමට අමතර මුදලක් වැය වෙන්නෙත් නැහැ. අර්බුදය තේරුම් ගත්තා නම් ඒ වෙනුවෙන් ජනතාව තුළත් යම් කැපවීමක් කරන්න වෙනවා.
පොලීසියේ වරදක් නිසා වාහන තදබදයක් තියෙනවා කියල කියනවා නම් ඒක වැරදියි. අපි කරන්නේ ඒ තදබදය ලිහිල් කරන්න මැදිහත් වන එක විතරයි. අපේ නිලධාරීන් කොයිතරම් ඒ වෙනුවෙන් කැපවෙනවාද කියල හිතන්න.
Q ඇතැමුන් කියනවා සමහර නිලධාරීන් නොහොබිනා ලෙස කතා කරනවා හෝ තර්ජනය කරනවා කියලා. මේ නිලධාරීන්ගේ අපහසුව පැහැදිලි කළොත්?
ඔබ හිතන්න, ගිනි කාෂ්ටක අව්වේ හෝ හෙන ගහන වැස්සේ මහ පාර මැද්දේ හිටගෙන, වාහන සිය ගණනකින් නිකුත්වන විෂ දුම ආග්‍රහණය කරමින්, අර පැත්තට මේ පැත්තට අත් දෙක වනමින් දිගු කරමින්, අපවිත්‍ර පරිසරයක සේවය කරන නිලධාරියෙකුගේ අණට කීකරු නොවන තැනක එවැනි රියදුරෙකු වෙනුවෙන් දැඩි ස්වරයෙන් යමක් කියන එක තර්ජනයක්ද කියලා.
රියදුරන් පොලීසියේ රාජකාරියට බාධා නොකරනවා නම් එහෙම වෙන්නේ නැහනේ. තම තමන් මේ මගේ වගකීම කියලා එකිනෙකා පසුපසින් සහ නිසි තැන ඉස්සර කරනවා නම්, සුදුසු තැනක නතර කරනවා නම් මේ අර්බුදය නැහැනේ.
ඇයි නිලධාරියාට විතරක් ඇඟිල්ල දිගු කරන්නේ. ඔබ දන්නවාද අද බොහෝ පොලිස් නිලධාරීන් ශ්වසන රෝග ඇතිවන තත්ත්වයේ අවදානමකට පත්වන තරමට පරිසරයට නිකුත්වන දුම වැඩියි. පොඩි දුමකදී වුවත් ජනතාව නහය වහගෙන යන හැටි බලන්න. ඒ ධර්මතාව නිලධාරියාටත් පොදුයි.
Q මේ සඳහා සෞඛ්‍ය ආරක්ෂණය පැත්තෙන් පියවර ගෙන නැද්ද?
පොලිස් දෙපාර්තමේන්තුව වශයෙන් මේ ගැන කටයුතු කරනවා. ඒ වගේම මහනුවර නම් ශ්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දුෂ්‍යන්ත මැදගෙදර මහත්මයා සහ බෝගම්බර ළය රෝහලේ වෛද්‍ය වාසනා මහත්මියගේ මැදිහත් වීමෙන් විවිධ සායන කටයුතු අපි පවත්වාගෙන යනවා. ඒක විශේෂයෙන් සඳහන් කළයුතු කරුණක්.
Q යම් විදිහකින් පොලිස් නිලධාරියෙකු නොමනා ආකාරයෙන් රියදුරාට හානිකර පරිදි නීතියෙන් බැහැරව ක්‍රියා කළා නම් කුමක් කළ යුතුද?
පොලිස් හදිසි දුරකථන අංක 119ට දැන්විය හැකියි. නැත්නම් මහනුවරදී නම් 0812 233333 අංකයට දැනුම් දිය හැකියි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd