බෙල්ලන්විල රාජමහා විහාරස්ථානය, පැපිලියාන සුනේත්‍රාදේවි රාජමහා විහාරස්ථානය, පිල්ලෑවේ බෝධීන් වහන්සේ, ගංගාරාම පුරාණ විහාරස්ථානය, නීලමහර පුරාණ විහාරස්ථානය ආදී ප්‍රධාන පෙළේ විහාරස්ථාන ගණනාවක් පිහිටා තිබෙන බොරලැස්ගමුව පුරවරයේ ප්‍රධාන පුරවැසියා වීමට පක්ෂ කිහිපයකින් අපේක්ෂකයෝ ඉදිරිපත්ව සිටිති. ඔවුන් අතරින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් බොරලැස්ගමුව නගර සභාවට තරග කරන අරුණ ප්‍රියශාන්ත මහතා 'අද'ට සම්බන්ධ කර ගතිමු. ඔහු පළ කළ අදහස් පහතින් දැක්වේ.
Q අවස්ථා දෙකකදී නගරාධිපති වූ ඔබ නැවත වතාවක් තරග කිරීමට ඉදිරිපත් වුණේ ඇයි?
බොරලැස්ගමුව නගර සභාව 2006 වසරේදී සංස්ථාපනය වූ අවස්ථාවේ සිට 2011 වසර වනතෙක් අඛණ්ඩව එහි නගරාධිපතිවරයා වශයෙන් කටයුතු කළේ මම. කැස්බෑව ප්‍රාදේශීය සභාවේ උපකාර්යාල ප්‍රදේශයක් තමයි මේ විදියට නගර සභාවකට උසස් වුණේ. එතැන් සිට 2015 මැයි 15 වැනිදා දක්වා දෙවැනි ධුර කාලය තුළත් නගරාධිපතිවරයා වශයෙන් මම කටයුතු කළා. ඒ නිසා මේ පුරවරය පිළිබඳ අනෙකුත් අපේක්ෂකයන්ට සාපේක්ෂව මට අත්දැකීම් බහුලව තිබෙනවා.
Q ඒ අත්දැකීම් ගැන පැහැදිලි කළොත්?
බොහෝ අඩුපාඩුකම් රාශියක් මැද්දේ අපට මෙම ආයතනය පවත්වාගෙන යන්න සිදු වුණා. මෙම පුරවරයේ අපට ආදායම් ලබන්න කියලා විශාල පරිමාණයේ කර්මාන්ත ආයතන අඩුයි.2006 දී අපි බලයට එන විට තිබුණේ සම්පූර්ණ වරිපනම් ආදායම ලක්ෂ 38යි. එය ක්‍රමානුකූලව කෝටි තුනක් දක්වා වර්ධනය කරගෙන තිබෙනවා.
ඊට අමතරව අපට පළාත් සභා, පාර්ලිමේන්තු ප්‍රතිපාදන සහ මුද්දර ගාස්තු ආදී වශයෙන් කෝටි 13-18 අතර වාර්ෂික ප්‍රතිපාදන හිමිවෙනවා. මේවා කළමනාකරණය කරලා මේ පළාතේ කැළි කසළ ඉවත් කිරීම, විදුලිය ලබාදීම, මාර්ග හා යටිතල පහසුකම් සැපයීම ආදී එදිනෙදා අවශ්‍යතා බොහෝම අපහසුවෙන් සපයමින් පාලනය කළ ආයතනයක්.
Q මෙවර ජයග්‍රහණය කළොත් ක්‍රියාත්මක කිරීමට නියමිත ඔබගේ වැඩපිළිවෙළ කුමක්ද?
අද ඡන්දේ අරගෙන හෙට ජනතාවට බොරුව පෙන්වන්න මම කැමැති නැහැ. විශේෂිත මහා පරිමාණ ව්‍යාපෘති ආරම්භ කරලා බොහෝ ප්රාතිහාර්ය පාන්න අපට බැහැ. නමුත් අපට පුළුවන් කාරණා ටිකක් තිබෙනවා. අපට තවමත් පිරිමහගන්න නොහැකි වූ කාරණා රැසක් අපි ඉදිරියේ තිබෙනවා. උදාහරණයක් තමයි දැනට නගර සභාව තියෙන්නෙ පර්චස් 40ක කුඩා භූමි භාගයක. ප්‍රධාන පාරේ අක්කරයකට නොවැඩි ඉඩමක් අපි ලබාගෙන තිබෙනවා.
ඒ සඳහා පසුගිය රජය යටතේ අපි සැලසුම් අනුමත කරගෙන, සියලු සැලසුම් ලබාගෙන චීනයේ ආධාරවලින් ගොඩනැගිල්ලක් හදන්න අපි සූදානම් වුණා. එවකට කෘෂිකර්ම අමාත්‍යවරයා වශයෙන් මෛත්‍රීපාල සිරිසේන මහතා බණ්ඩාරගම වප් මඟුල් උත්සවයකට සහභාගි වෙලා 120 පාරේ එද්දී මරාගෙන මැරෙන බෝම්බකාරියක් වාහනට පැනලා බෝම්බය පුපුරා ගත්තේ මේ ඉඩම ළඟ. අපි ඒ ඉඩම තමයි නගර සභාවට ගත්තේ. මේ ගැන මම ජනාධිපතිවරයාගේ අවධානයට යොමුකළා. මම හිතුවා මහ ඇමතිතුමා තම නායකයාට ගෞරවයක් වශයෙන් ජීවිතය බේරාගත් තැන මේ නගර සභාව හදාවි කියලා.
Q යහපාලන ආණ්ඩුව විසින් එම ගොඩනැගිල්ල ඉදිකළාද?
නමුත් ඒ වෙනුවට වර්තමාන ආණ්ඩුවේ තුන් අවුරුදු කාලයේදී සිදුවුණේ යහපාලනයට පක්ෂපාතීත්වය දක්වන හිටපු නාගරික මන්ත්‍රීවරුන්ට අවශ්‍ය තාලෙට නගර සභාව හසුරුවා ගෙන තමන්ට ඕන ඕන විදියට කරගෙන ගියා. ඉහළ නිලධාරියාගේ ඉඳන් සුළු නිලධාරියා දක්වා වෙනස් විදියට කටයුතු කළොත් මාරුවීම් ලබා දුන්නා. එවැනි වැරදි අයාලේ ගිය පාලනයක් තිබුණේ. 10 දෙනෙක් ඉන්නවා නම්, 10 දෙනාම නගරාධිපතිවරු වෙලා හිටියේ.
Q පසුගිය අවුරුදු තුනේ ජනතා ප්‍රශ්න විසඳීමට එම පුද්ගලයන් මැදිහත් වුණේ නැද්ද?
ඒ පුද්ගලයන් නිසා පසුගිය වසර තුන තුළදී ජනතා ප්‍රශ්න විසඳීම සම්පූර්ණයෙන්ම නතර වුණා. මේ නිසා ප්‍රදේශවාසීන් ඉන්නේ විශාල කලකිරීමකින්. ඔවුන්ගේ ඉල්ලීමක් අනුව තමයි නැවත වතාවක් නගර සභාවට ඉදිරිපත් වීමට මම තීරණය කළේ.
Q යහපාලන ආණ්ඩුව ගෙනා අලුත් මැතිවරණ ක්‍රමය නිසා ඡන්දදායකයන් හමුවීමට යෑමේදී අපේක්ෂකයන්ට පහසුවක් වෙලා නේද?
නව මැතිවරණ ක්‍රමය ගෙනාවේ මහින්ද රාජපක්ෂ පාලන කාලයේදී. ඒකේ අඩුලුහුඬුකම් තියෙනවා කියලා මේ ආණ්ඩුව මැතිවරණය කල් දමමින් හිටියා. නව ක්‍රමය තුළට නොගැළපෙන දේවල් ගොඩාක් ඇතුළත් කර තිබීම ගැන අපි කනගාටු වෙනවා. බොරලැස්ගමුව නගර සභාවේ සමස්ත මන්ත්‍රීවරු සංඛ්‍යාව 09යි. නමුත් දැන් 16ක් දක්වා වැඩිකර තිබෙනවා. එහෙම අත්තනෝමතික ලෙස උපරිමය වැඩි කිරීම තුළ ආයතනයේ සමබරතාව පවත්වාගෙන යෑම, ආයතනයේ සම්පත් විහිදී යද්දි දැඩි අර්බුද නිර්මාණය වෙනවා.
ඒක රටට බරක් වෙනවා. ජනතාවට දරා ගන්න පුළුවන් මන්ත්‍රීවරු පිරිසක් සිටිය යුතුයි. අප නගර සභාවට මන්ත්‍රීවරු 12 දෙනෙක් ප්‍රමාණවත්. මේ විදියට සියලුම නගර සභාවල මන්ත්‍රී ධුර වැඩි වෙනවා. මහජන සභා ගර්භ කඩා දමා විශාල කිරීමට සිදු වෙනවා. බොරලැස්ගමුව නගර සභාවේ මහා සභාව රැස්වීම සඳහා නිලධාරී කාමර, මහජනතාවට උපකාරී වන ආයතන සියල්ල කඩලා විශාල ශාලාවක් ඉදිකරන්න වෙලා තියෙනවා. ඒකේ අතුරු ප්‍රතිඵලය ලක්ෂ ගාණකට මෙතෙක් තිබුණු පුස්තකාලය නගර සභාවෙන් බැහැරව පෞද්ගලික ගොඩනැගිල්ලකට යනවා. මේ නිසා අතිරේක පිරිවැයක් දැරීමට වෙනවා. මේ නිසා මහජනතාව කෙතරම් දුෂ්කරතාවන්ට ලක්වෙනවාද බලන්න. නගර සභාවේ අංශ පේන මානයේ එහාට ගියාම විනිවිදභාවය පිළිබඳ ගැටලු තිබෙනවා.
Q අලුත් මැතිවරණ ක්‍රමය සාර්ථක නැහැ කියලද ඔබ කියන්නේ?
කොට්ඨාස ක්‍රමය පිළිබඳ අපට කිසි ප්‍රශ්නයක් නැහැ. අපට ගම ඇතුළේ ජයගන්න පුළුවන්. නමුත් ජනතා මුදල් අපතේ යෑම බලා ඉන්න බැහැ. මීට කලින් මුළු නගර සභා වපසරිය පුරාම ඇවිද ගිය අපට දැන් කොට්ඨාසයක් ඇතුළේ ඇවිද ගොස් දිනාගන්න තියෙන්නෙ. ඒක කොච්චර පහසුද බලන්න. මේක සම්පූර්ණයෙන්ම මහින්ද ආණ්ඩුවේ වැඩක්. නමුත් අලුත් ආණ්ඩුව විසින් ඒ ක්‍රමය වියදම්කාරී ක්‍රමයක් බවට පත්කළා.
Q පොදුජන පෙරමුණ බොරලැස්ගමුවේ ජයගත හැකි මට්ටමක ඉන්නවාද?
මේ මැතිවරණය අපි ලබා ගත්තේ ජනතාව විඳින අපහසුතාව බලාගෙන ඉන්න බැරිකමට. ජනතාවගේ මූලික පරමාධිපත්යයන් එන්න එන්න නැතිවෙනකොට එයට විරුද්ධව අපි කඳවුරු බැඳලා පොදුජන පෙරමුණ කෙටි කාලයක් ඇතුළත ගෙනාවා. එක්සත් ජාතික පක්ෂයට පාර්ලිමේන්තුවේ බහුතරයක් තිබුණට අද වන විට ඉතාමත් වේගයෙන් අප්‍රසන්න වූ පක්ෂයක් බවට පත්වෙලා. බොරලැස්ගමුවේ යූ.එන්.පී. එක පල්ලම් බැහැලා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටත් ජනතා ප්‍රසාදයක් නැහැ. ජනතා විමුක්ති පෙරමුණටත් එම තත්ත්වයම තමයි තියෙන්නෙ. පැහැදිලිව පෙබරවාරි 10 වැනිදා මැතිවරණයෙන් 11 වැනිදා වන විට බොරලැස්ගමුව නගර සභාෙව් මන්ත්‍රී කොට්ඨාස සියල්ලම පොදුජන පෙරමුණ දිනනවා.