Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා
2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා
ජනාධිපතිවරණ සටනට අදාළව ප්‍රසිද්ධියේ මෙන්ම අප්රසිද්ධියේත් බොහෝ සිද්ධි පසුගිය සතියේදී සිදුවූයේ දේශපාලන පිටිය තව තවත් උණුසුම් කරමිනි. මෙම සතිය පාර්ලිමේන්තු සතියක් වුවද, රැස්වීම් පැවැත්වුණේ එක් දිනයක පමණි. එම දිනය වූයේ පසුගිය 21වැනිදා බදාදාය. ජනාධිපතිවරණයට හරියටම මාසයක් තිබියදී පැවැත්වුණු පාර්ලිමේන්තු රැස්වීම් දිනය බොහෝ උණුසුම් වූයේ කරුණු කිහිපයක් හේතුවෙනි .
බොහෝ දෙනකුගේ අවධානය එදින දිනාගන්නා ලද්දේ සමගි ජනබලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තලතා අතුකෝරළයි. පැය 1/2 කට ආසන්න වේලාවක් ඇය කළ කතාව ආණ්ඩුව පක්ෂයේත්, විරුද්ධ පක්ෂයේත් බොහෝ දෙනෙකු අසා සිටියේ දැඩි අවධානයකිනි. මෙම කතාව සිදුකිරීමේ අවස්ථා කිහිපයේදීම තලතා දැඩි ලෙස හැඟුම්බර වූවාය.
ඇය එහිදී තමාගේ වැඩිමහලු සහෝදරයා වන ගාමිණී අතුකෝරාළ ගැන වගේම ජේ.ආර්, ප්‍රේමදාස, ලලිත්, ගාමිණී ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ පැරණි සාමාජිකයන් ගැනද මතකය ආවර්ජනය කරමින් තලතා එක්සත් ජාතික පක්ෂයේ ඉතිහාසය, වර්තමානය සහ අනාගතය සම්බන්ධයෙන්ද විවරණයක් ඉදිරිපත් කළාය.
“අපේ කඳවුර බෙදිලා දෙන්නෙක් තරග කරන්න ගත්ත තීරණයත් එක්ක මගේ හෘදසාක්ෂියට එකඟ වෙන්න බැහැ. අපේ මව් පක්ෂයේ නායකයාත්, හිටපු නියෝජ්‍ය නායකයාත් දේශපාලන සතුරන් වෙලා” යනුවෙන් ඉතා සංවේදීව තලතා ප්‍රකාශ කළේ, එක්සත් ජාතික පක්ෂය ශක්තිමත් වී රට වෙනුවෙන් ඉදිරියට යා යුතුබවයි. “මේ හදන්නේ යළිත් වරක් ගෝඨාභය රාජපක්ෂ දෙවෙනි කොටස රඟ දක්වන්නද?” යනුවෙන් තලතා යම් ඇනුම්පදයක් කීවේ සජිත්ටද එසේත් නැතිනම් අනුරටද යන්න ගැනත් කතා බොහෝ දෙනාගේ අවධානය යොමුවූවකි.
ඉතා හැඟුම්බරව සිය කතාව අවසන් කරමින් තලතා පැවසුවේ, තමන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බවයි.
තලතාගේ ආසනය අසලම යාබදව අසුන්ගෙන සිටි සමගි ජනබලවේගයේ කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම්, තලතාට පිටුපස අසුන්වල වාඩිගෙන සිටි කාවින්ද ජයවර්ධන, මයන්ත දිසානායක ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් තලතාගේ කතාවට දැඩි අවධානයෙන් සවන් දීගෙන සිටින බවක් දක්නට ලැබුණි.
තලතා සිය කතාව අවසන් කොට මැතිසබයෙන් ඉවත් වීමට සූදානම් වූ අවස්ථාවේ ඉතා හැඟුම්බර වූ අතර, තලතාගේ දෑස් අග කඳුළින් තෙත් වී තිබිණ.
තලතා මැතිසබයෙන් ඉවත් වන ආකාරය සමගි ජනබලවේගයේ ඇතැම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද බලා සිටියේ බොහෝ හැඟුම්බරවයි.
තලතා සභාගර්භයෙන් ඉවත් වී විදුලි සෝපානය අසලට යන විට ඇය පසුපසින්ම පැමිණියේ කාවින්ද ජයවර්ධන, අජිත් මාන්නප්පෙරුම ඇතුළු කිහිපදෙනෙකි.
ඉතා හැඟුම්බරව එම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සමු දුන් තලතා විදුලි සෝපානයට ගොඩ වී යන්නට ගියාය.
තලතා අතුකෝරළ සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස් වූ බව ප්‍රකාශ කළද ඊයේ (22දා) මෙම ලිපිය ලියන අවස්ථාව දක්වාම පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස් වූ බව ලිඛිතව දැනුම් දෙන ලිපිය පාර්ලිමේන්තුවේ මහලේකම්වරියට භාර දී තිබුණේ නැත. රත්නපුර දිස්ත්‍රික්කයේ සමගි ජනබලවේගයේ මනාප ලැයිස්තුව අනුව තලතා වෙනුවට පැමිණීමට නියමිතව ඇත්තේ කරුණාරත්න පරණවිතානයි.
කරූ මන්ත්‍රී සූට් එක මහගෙන හිටියද එය කරූටතවම ඇදගැනීමට නොහැකි වී ඇත්තේ තලතා තම ඉල්ලා අස්වීමේ ලිපිය තවමත් පාර්ලිමේන්තුවට භාරදී නොමැති නිසාය.
මේ ගැන විමසීමේදී පාර්ලිමේන්තුවේ උසස් නිලධාරියෙකු මෙම ලියුම්කරුට සඳහන් කළේ, අද (23දා) දින බොහෝදුරට තලතා අතුකෝරළ මන්ත්‍රීතුමිය සිය ඉල්ලා අස්වීමේ ලිපිය භාරදෙනු ඇතැයි කියා අපේක්ෂා කරන බවයි.
තලතා අතුකෝරළ විශේෂ ප්‍රකාශය සිදුකිරීමෙන් අනතුරුව තවත් විශේෂ සිදුවීමක් එදිනම පාර්ලිමේන්තුව තුළ සිදුවිය. ආණ්ඩු පක්ෂයේ සිට විරුද්ධ පක්ෂයට පිල් මාරු කිරීමක් සිදුවීම එම සිද්ධියයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාතර දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කරුණාදාස කොඩිතුවක්කු විපක්ෂ නායක , සමගි ජනබලවේගයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසට සහය දැක්වීම සඳහා ආණ්ඩු පක්ෂයේ සිට මැතිසබය හරහා විරුද්ධ පක්ෂයට ගොස් අසුන් ගත්තේය.
කරුණාදාස කොඩිතුවක්කු විරුද්ධ පක්ෂයට පැමිණෙන විට සජිත් ප්‍රේමදාස, ලක්ෂ්මන් කිරිඇල්ල ඇතුළු සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඉතා උණුසුම් ආකාරයෙන් පිළිගන්නා ලදී .
මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනම රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට සහාය දක්වන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හා අනෙක් පිරිසට නිරන්තරයෙන්ම රැස්වීමටත්, කතාබහ කිරීමටත් කාර්යාලයක් නොතිබීම ගැන එම මන්ත්‍රීවරුන් විසින්ම නිතර කතාබහ කරන්නට විය.
“තැන් තැන්වල ඉඳගෙන කතා කරන්න බැහැ. අපිටම කියලා වෙනම තැනක් හදා ගමු. ඒක ලේසියි.” යනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුම ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයාට කියා තිබුණි.
“ඔව් අපි ඒ ගැන අවධානය යොමු කරලා තියෙන්නේ. කැම්පේන් එක අස්සෙම ඒ වැඩෙත් කරනවා. දැනටමත් තැන් දෙක තුනක් බලලා තියෙන්නෙ. අපි කාටත් ලේසිම තැනක් වෙන්න ඕනනේ.” යනුවෙන් ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා ප්‍රතිචාර දක්වා තිබුණි.
ඒ අනුව පසුගිය සතියේ නව කාර්යාලය විවෘත කෙරුණේ තලවතුගොඩදීය. ඒ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ණගේ ප්‍රධානත්වයෙනි. ඇමති ප්‍රසන්න රණතුංග සමගින් කංචන විජේසේකර, වෛද්‍ය රමේෂ් පතිරණ, මහින්දානන්ද අලුතමෙගේ, ශෙහාන් සේමසිංහ ඇතුළු මන්ත්‍රීවරු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
“දැන් අපිට රැස්වෙන්න, කතා කරන්න, තීරණ ගන්න අපේම කියලා තැනක් තියෙනවා” යනුවෙන් රෝහිත අබේගුණවර්ධන පැවසුවේය.
“ඇත්තටම මේක හොඳ තීරණයක්” එහෙම කීවේ මහින්දානන්දයි .
එම හමුවට පැමිණි සියලු පොහොට්ටු මන්ත්‍රීවරු මෙම කාර්යාලය විවෘත කිරීම සම්බන්ධයෙන් සිය සතුට පළ කළේය. ඒ අතරේ අතීත සිදුවීම්ද මන්ත්‍රීවරු එකිනෙකා සිහිපත් කළහ.
“එදා මහින්ද මහත්තයා වෙනුවෙන් කතා කරන්න, සාකච්ඡා කරන්න අපිට තැනක් තිබුණේ නැහැ. හුඟක් සාකච්ඡා පැවැත්වුණේ ප්‍රසන්න අමාත්‍යවරයාගේ නිල නිවසේ. ඒ ගෙදර තමයි තීරණාත්මක තීන්දු ගත්තේ.” සහන් ප්‍රදීප් මන්ත්‍රීවරයා අතීතය සිහිපත් කළේය.
“ඔව්, අපි පස්සෙ තමයි .නෙළුම් මාවතට ගියේ. ඒ කාර්යාලය තිබුණු මාවත තමයි නෙළුම් මාවත. පස්සේ ඒ කාර්යාලයේ නමත් නෙළුම් මාවත පක්ෂ කාර්යාලය වුණා” යනුවෙන් ප්‍රකාශ කරමින් සහන්ගේ කතාවට එක් වුණේ රෝහිත අබේගුණවර්ධනයි.
“ඉතින් මේ ඔෆිස් එක තියෙන්නෙ ප්‍රසන්න ඇමතිතුමාගෙ ගෙවල් පැත්තෙනෙ. ප්‍රසන්න ඇමතිතුමාට මේ කාර්යාලයට ඉක්මනට එන්නත් පුළුවන්. අනිත් එක මේ දේශපාලන මෙහෙයුම පිටිපස්සෙ හිටියෙත් ප්‍රසන්න ඇමතිතුමා. ඒක නිසා ‘ප්‍රසන්න’ කාර්යාලය කියලා මේ කාර්යාලය නම් කරමු .” යනුවෙන් එක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ යෝජනාවට සියල්ලෝම සිනාසුණහ.
“ මේ .. මේ අනේ මාව අමාරුවේ දාන්නේ නැතුව හිටපල්ලා” යනුවෙන් ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා එයට සිනාසෙමින් ප්‍රතිචාර දැක්වීය.
මේ අතර රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට සහාය දක්වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දිස්ත්‍රික් නායකයන්ගේ රැස්වීමක් පසුගියදා පැවැත්වුණේ දිනේෂ් ගුණවර්ධන අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙනි.
ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග, වෛද්‍ය රමේෂ් පතිරණ, කංචන විජේසේකර අමාත්‍යවරු ඇතුළු දිස්ත්‍රික්ක නායකයෝ මෙම රැස්වීම සඳහා සහභාගී වූහ.
ජනාධිපතිවරණයෙන් අනතුරුව පැවැත්වෙන මහ මැතිවරණය, පළාත් සභා හා පළාත් පාලන මැතිවරණවලට තරග කිරීමේ ක්‍රමවේදය සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.
“මේකයි දැන් අපි ළඟ ප්‍රශ්න කිහිපයක් තිබෙනවා. සුදුසු පක්ෂයක් බලලා ලියාපදිංචි කරමු. ඊට පස්සේ ඒවාට අනෙකුත් දේශපාලන පක්ෂ එකතු වේවි” යනුවෙන් ප්‍රථමයෙන් අදහස් ඉදිරිපත් කරන ලද්දේ එස්.බී. දිසානායක විසිනි.
“අපි මුලින්ම අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් දේශපාලන මණ්ඩලයක් හදාගමු. දේශපාලන මණ්ඩලය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නොවන අයගෙන් සමන්විත වෙනවා” යනුවෙන් පැහැදිලි කළේ වෛද්‍ය රමේෂ් පතිරණය.
“ඔව්. අපි ජාතික සංවිධායක, ලේකම්, භාණ්ඩාගාරික, කැඳවුම්කරු කියලා තනතුරු ව්‍යුහය හදාගමු” යනුවෙන් පැවසුවේ ප්‍රසන්න රණතුංගයි.
“අපිට දැන් මූලිකම දේ තමයි ජනාධිපතිවරණය ජයග්‍රහණය කරන එක. ඒකට මූලිකත්වය දීලා ජනාධිපතිවරණයෙන් පසුව මේ අලුත් පක්ෂය හා සන්ධානය ගොඩනගන වැඩේ අතට ගනිමු.” යනුවෙන් දිනේෂ් ගුණවර්ධන අග්‍රාමාත්‍යවරයා කියන විට දිස්ත්‍රික් නායකයන් ඊට ප්‍රතිචාර දැක්වූයේ අත්පොළසන් දෙමිනි.
මේ අතර අනුරාධපුර කඩපනහ අසලින් ජනාධිපතිවරණ සටනට එක්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක නාමල් රාජපක්ෂ එහිදී කියා සිටියේ පොලිස් හා ඉඩම් බලතල තම රජයක් යටතේ පළාත් සභාවලට ලබා නොදෙන බවයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ හිටපු අගමැති මහින්ද රාජපක්ෂද මෙම අවස්ථාවට එක්ව සිටි අතර, තරුණ ප්‍රජාවගෙන් නාමල්ට ලැබුණේ ඉහළ ප්රතිචාරයකි. එහි සිටි තරුණයින් පිරිසක් සමග නාමල් කතාබහ කළ අතර, එහිදී ඔවුන් කියා සිටියේ නාමල්ගේ ඩිජිටල් ෆ්ලැට්ෆෝම් යෝජනාව ඉතා හොඳ එකක් බවයි.
මෙවර ජනාධිපතිවරණයේ වියදම් සීමා කිරීම සහ ඒ ගැන සොයා බැලීමට ක්‍රමවේදයක් සැකසූ ආයතනවලට හා සිවිල් සංවිධානවලට නාමල් ස්තූති කිරීමටද අමතක නොකළේය.
“ජානාධිපති අපේක්ෂකයන්ගේ මුදල් වියදම් කිරීම ගැන හොයනවා. ඒක ඉතාම හොඳයි. ඒ වගේම එම ජනාධිපති අපේක්ෂකයන්ට වියදම් කිරීමට මුදල් ලබාදුන් පුද්ගලයන් හා මුදල් ප්‍රමාණය ගැනත් හොයනවා. ඒකත් ඉතාම හොඳයි. එතකොට අක්‍රමිකතා හුඟක් අඩුවෙනවා. නැතිනම් ජනාධිපති වුණාට පස්සෙ ඒ පුද්ගලයාට තමන්ට සල්ලි දුන්න මිනිස්සු සතුටු කරන්න වෙනවා. එතකොට වංචා, දූෂණ නිකම්ම ඇතිවෙනවා. මුදල් වියදම් කිරීමේ නියාමනයන් සාර්ථක කර ගැන්මට මං උපරිමයෙන් සහයෝගය ලබාදෙනවා” යනුවෙන් නාමල් රාජපක්ෂ එම තරුණ තරුණියන් පිරිසට පැවසුවේය.
මේ අතර සමගි බලවේගයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ(22දා) උදෑසන කොල්ලුපිටිය මරීනා හෝටලයේදී මාධ්‍ය ප්‍රධානීන් සමග සුහද පිළිසඳරක නියැලුණේය. මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය ප්‍රධානීන් රැසක් ඊට සහභාගී වී සිටිය අතර අදාළ සම්බන්ධීකරණය සිදුකර තිබුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිටියාස් බාකීර් මාකර් මහතාය. වෙනදා මෙන් මන්ත්‍රීවරුන් වෙනුවෙන් ප්‍රධාන මේසයක් සම්පාදනය වී නොතිබූ අතර මාධ්‍යවේදීන් සිටි මේසවලම සමගි බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද ඉඩ වෙන්වී තිබිණි.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන මහාචාර්ය ජී.එල් පීරිස්, ආචාර්ය චරිත හේරත්, ඩලස් අලහප්පෙරුම, මනෝ ගනේෂන්, රවුෆ් හකීම්,තිස්ස අත්තනායක ඇතුළු පිරිසක් එම අවස්ථාවට සහභාගී වී සිටියහ. විපක්ෂනායකවරයා පැය එකහමාරකට ආසන්න කාලයක් මාධ්‍ය ප්‍රධානියෙක් සමගම පරණ මතකයන් සිහිපත් කරමින් අල්ලාප සල්ලාපයේ නිරත විය.
එහිදී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පිළිබඳව මාධ්‍ය ප්‍රධානියෙක් විමසූ අවස්ථාවේ සජිති කීවේ සරත් ෆෝන්සේකා ගැන මට ඇත්තටම දුකයි යනුවෙනි. එමෙන්ම ඉල්ලා අස්වූ තලතා අතුකෝරල මන්ත්‍රීතුමිය ඇත්තටම ඉල්ලා අස්වීම ලබාදී ඇත්දැයි මාධ්‍ය ප්‍රධානියෙක් විමසූ අවස්ථාවේ සිනහවී ප්‍රකාශ කළේ අනේ මම ඕව හොයන්නෙ කාලය නාස්ති කරන්නේ නෑ, තව පෝයයිනේ කරන්න වැඩ ගොඩක් තියනවානේ කියාය.
මංජු ශ්‍රී
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd