මිනිසුන් දකින්නේ තමාගේ අතීතයට ඇති සම්බන්ධය පමණක් වන අතර, එය තමන් විසින්ම ඇති කරන ලද්දක් බවත්, එසේ වුවද සෑම කෙනෙකුට වෙනස් වීමට හැකි බැවින්, ඒ වෙනස දැකීමට මිනිසුන්ට හැකියාව ඇති බව තමා විශ්වාස කරන බවත් රංගන ශිල්පිනී සනී ලියොන් පවසයි.
කරන්ජීත් කෞර් හෙවත් චිත්‍රපට ක්ෂේත්රයේ සනී ලියොන් ලෙස ප්‍රකට ඇය මෙසේ අදහස් දක්වා සිටියේ අන්තර්ජාල වැඩසටහනකට අදාළ පූර්ව ප්රචාරක පටය සම්බන්ධයෙන් පැවති මාධ්‍ය හමුවකදීය.
ඉන්දියාව තුළ ගූගල් සෙවුම්වල අඛණ්ඩව පස්වැනි වසරටත් ඉදිරියෙන්ම සිටින සනී ලියොන් පවසන්නේ තමා දැකගැනීමට, තමා ගැනීමට දැනගැනීමට උත්සාහ කරන සෑම අයෙකු තුළම තමා ගැන පූර්ව නිගමනයක් ඇති බවයි. එමෙන්ම, ඒ නිගමනය ඒ දෘෂ්ටිය ඔවුන් තුළ ඇති කළේ තමන් විසින්ම බවත් ඇය පවසා සිටියි.
"ඇත්තටම මම මට අවංකයි. ඒත් මිනිස්සු දකින්නෙ මගේ අතීතයට තිබෙන සම්බන්ධය පමණයි. ඒ දේ ඇති කළේ මම කියන දේ මා දන්නවා. නමුත් සෑම කෙනෙකුටම වෙනස් වෙන්න පුළුවන්. මා විශ්වාස කරන්නෙ ඒ වෙනස දකින්න මිනිසුන්ට හැකියාව තියෙනවා."
සිය ආරම්භක ක්ෂේත්රය ඉන්දීය සමාජය තුළ විවාදාත්මක ක්ෂේත්රයක් වුවත්, මේ වනවිට බොලිවුඩ් සිනමාවට එක්වූ සනී ලියොන් චිත්‍රපට කිහිපයක ප්‍රධාන චරිතවලට පවා පණපොවා ඇත.
සිය තෝරාගැනීම් සම්බන්ධයෙන් අදහස් දක්වන ඇය පවසන්නේ, තමන්ගේ කැමැත්ත වෙනත් කෙනෙකුට බලපෑමක් නොවිය යුතු බවය. සමාජයේ මතවාද ගොඩනැගෙන්නේ පවුල්වලින් බවත්, සෑම තරුණියකටම තම දෙමාපියන්ගෙන් ලැබෙන ගුරුහරුකම් හේතුවන බවත් ඇය කියයි.
ඇය සම්බන්ධ වූ මුල් ක්ෂේත්රය සඳහා ඇයට දෙමවුපියන්ගේ ආශිර්වාදය කිසිසේත්ම ලැබී තිබුණේ නැත. නමුත්, ඔවුන් ඇයට ස්වාධීනව තීරණ ගැනීමට අවස්ථාව ලබාදී තිබූ බව ඇය කියයි.
ඒ වගේම, සනී ලියොන් දැන් මවුපදවියද ලැබූ තැනැත්තියකි. තමාගේ අතීත රැකියාව දරුවන්ට පැහැදිලි කරන්න හැකිවේද යනුවෙන් ඇසූ විට ඇය මොහොතක් නිශ්ශබ්දව සිටියාය. පසුව ඇය කියා සිටියේ වේලාව පැමිණි විට නිසැකවම තමාගේ ජීවිතය සම්බන්ධයෙන් තම දරුවන්ට අවංක වන බවය.