IS ඉස්ලාම් රාජ්‍ය ත්රස්තයන් සමග එක්ව මේ වනවිට කුර්දි සටන්කාමීන්ගේ අත්අඩංගුවේ පසුවන නෙදර්ලන්ත ජාතික යාගෝ රීඩිජ්ක්, තම බිරිඳ වන ෂමීමා බෙගම් සමග යළි නෙදර්ලන්තයට යෑමට බලාපොරොත්තුවෙන් සිටියි.
බ්‍රිතාන්‍යයෙන් පළාගොස් වර්ෂ 2015 දී ඉස්ලාම් රාජ්‍ය ත්රස්තයන් සමග එක්වූ ෂමීමා බෙගම් එවකට එම සටන්කාමීන්ට සම්බන්ධව සිටි නෙදර්ලන්ත ජාතිකයා විවාහ කරගත්තාය.
මේ වනවිට එක්දරු මවක වන ඇයව බ්‍රිතාන්‍යයට යළි භාරගැනීම එරට රජය විසින් ප්‍රතික්ෂේප කර තිබුණි.
කෙසේ වෙතත්, තමා ඉස්ලාම් රාජ්‍ය ත්රස්තයන් සමග සටනේ සිටියත්, දැන් තම බිරිඳ හා දරුවා සමග නෙදර්ලන්තයට යළි පැමිණ ජීවත්වීම තම ඒකායන අරමුණ බව යාගෝ පවසා තිබේ.
නමුත්, ඔහු යළිත් නෙදර්ලන්තයට පැමිණියහොත් ත්‍රස්ත සංවිධානයක් සමග සම්බන්ධ වීමේ චෝදනාවට ඔහුට වසර 6ක සිර දඬුවමකට යටත් වීමට සිදුවෙයි.
ත්‍රස්ත සංවිධානය සමග එක්ව සිටියදී තමාට ඉස්ලාම් රාජ්‍ය එපා වූ බවත්, තමන් අවස්ථා කිහිපයකදීම ඉන් මිදී ඒමට උත්සාහ කළත් එය වැළැක්වුණු බවත් ඔහු පවසා තිබේ.
කාන්තාවකට ගල් ගසා මරා දමන අවස්ථාවකට පවා තමා සහභාගී වූ බව කියන ඔහු, තම දරුවෙකු සාගතයේ මියයෑම අත්විඳි බවද කියා තිබේ.
ඔහු සම ඔහුගේ බිරිඳ වන බෙගම් ඉස්ලාම් රාජ්‍ය ත්රස්තයන්ට පැවති අවසන් භූමිභාගය වූ බැගෝස් සිට පළා ආ අතර, එහිදී, බෙගම් අනාථ කඳවුරකටත්, යාගෝ අත්අඩංගුවටත් පත්විය.