ශ්‍රී ලාංකේය තරුණ නිර්මාණකරුවන් දෙදෙනෙකු විසින් නිර්මාණය කරනු ලැබු 'රාවණා 1' චන්ද්‍රිකාව රැගත් රොකට්ටුව මෙරට වේලාවෙන් අප්‍රේල් 18දා අලුයම 2.16ට කක්ෂගත කිරීමට නියමිතව තිබේ.
එම චන්ද්‍රිකාව පසුගිය පෙබරවාරි 18දා ජපාන අභ්‍යවකාශ ගවේෂණ ඒජන්සිය (JAXA) වෙත භාරදුන් අතර, එය රැගත් Cygnus නමැති භාණ්ඩ ප්‍රවාහන අභ්‍යවකාශ යානය ඇමෙරිකාවේ වර්ජිනියාහි සිට ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය කරා ගමන් කරනු ඇත.
ඇමෙරිකානු නාසා ආයතනය නිවේදනය කර තිබුණේ, රොකට්ටුව පිටත් කිරීම සඳහා යහපත් කාලගුණික තත්ත්වයක් පවතින බවය.
මෙම රාවණා 1 යනු ඝනක චන්ද්‍රිකාවකි (cube satellite). ඝනක චන්ද්‍රිකාවක් යනු විශාල ප්‍රමාණයේ චන්ද්‍රිකාවක් (Classical Satellite) නොවන අතර ප්‍රමාණයෙන් කුඩා චන්ද්‍රිකාවකි. මෙවැනි චන්ද්‍රිකා නිර්මාණය කිරීමට මෙන්ම කක්ෂගත කිරීමටද වැය වන මුදල සාපේක්ෂව ඉතා අඩු මට්ටමක පවතී.
ඝන සෙන්ටි මීටර් 1,000ක විශාලත්වයෙන් යුතු රාවනා 1 චන්ද්‍රිකාවේ බර කිලෝග්‍රෑම් 1.05කි. එය ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිට කිලෝමීටර් 400ක් පමණ දුරින් කක්ෂගත කිරීමට නියමිතය. එහි අවම ආයු කාලය අවුරුදු එක හමාරක් වන අතර අවුරුදු 5ක් දක්වා පැවතිය හැකි බවට විශ්වාස කෙරෙයි.
මෙම රාවණා 1 චන්ද්‍රිකාව කක්ෂගත කිරීමෙන් අපේක්ෂා කරන මෙහෙයුම් 5ක් ඇති අතර, ශ්‍රී ලංකාවේ සහ ආසන්න කලාපයේ ඡායාරූප ගැනීම, ඉදිරි චන්ද්‍රිකාවලදී භාවිතයට ගැනීමට නියමිත 'ලෝරා මොඩියුල්' (මෙය දත්ත ඩවුන්ලෝඩ් කිරීම සහ චන්ද්‍රිකාව පාලනය කිරීම සඳහා යොදා ගැනීමට නියමිතය) නමැති මෘදුකාංගය අත්හදා බැලීම, චන්ද්‍රිකා සැලසුම් කිරීමේදී දැනට භාවිත වන දෘඩාංග ක්‍රමය වෙනුවට මෘදුකාංග ක්‍රමයක් අත්හදා බැලීම, කක්ෂගත කිරීමෙන් පසු චන්ද්‍රිකාව තමන් වටා කැරකෙන වේගය අඩු කිරීම පිළිබඳ අත්හදා බැලීම සහ පෘථිවියේ චුම්භක ශක්තිය පිළිබඳව අධ්‍යයනය කිරීම ඒවා වෙයි.
මෙම චන්ද්‍රිකාවට රාවණා යන නම තබා ඇත්තේ, කටුබැද්ද ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයේ හිටපු අධ්යක්ෂ ජනරාල් සනත් පනාවැන්නගේ යෝජනාවක් අනුවය. ඒ ශ්‍රී ලාංකේය රාවණාගේ ගුවන් තාක්ෂණය පිළිබඳ ලොවට කියා පෑමටය.
මීට සම්බන්ධ වූ දුලානි චාමිකා විතානගේ සහ තරිඳු දයාරත්න, ශ්‍රී ලංකාවේ ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයේ අධීක්ෂණය යටතේ රාවණා 1 චන්ද්‍රිකාව නිර්මාණය කර තිබේ. ඔවුන් දෙදෙනා මේ වනවිට ජපානයේ පශ්චාත් උපාධිය හදාරමින් සිටිති.
තායිලන්තයට ගොස් විද්‍යුත් යාන්ත්‍රික ඉන්ජිනේරු තාක්ෂණය හදාරා ඇති දුලානි චාමිකා විතානගේ, පසුව ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයේ සේවයට එක් වී තිබේ. මේ අතර, පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් විදුලි සහ විද්‍යුත් ඉන්ජිනේරු උපාධිය හදාරා ඇති තරිඳු දයාරත්න, ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයේ පර්යේෂණ ඉන්ජිනේරුවරයෙකු ලෙස සේවය ආරම්භ කර ඇත.