වියට්නාමයේ හැනෝයි නුවරදී ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්රම්ප් සමග පැවති සාකච්ඡාවෙන් අනතුරුව නිල සංචාරයක යෙදුණු උතුරු කොරියානු නායක කිම් ජොන්ග්-උන් යළි සිය රට බළා පිටත්ව ගොස් තිබේ.
ඇමෙරිකානු නායකයා සමග ඓතිහාසික දෙවැනි සාකච්ඡා වටය වෙනුවෙන් හැනෝයි නුවරට ළඟා වුවද, මෙවර සාකච්ඡා සමුළුවේදී පසුගිය වසරේ පැවති පළමු සාකච්ඡා සමුළුව මෙන් එකඟත්වයකට පැමිණීමට දෙපාර්ශ්වයටම නොහැකි විය.
විශේෂයෙන්ම සම්බාධක ඉවත්කිරීම සම්බන්ධයෙන් වූ ගැටලුවක් සාකච්ඡා අඩපණ වීමට හේතු වූ අතර, උතුරු කොරියාව සම්පූර්ණ සම්බාධක ඉවත්කිරීමක් ගැන කතා කළේ යැයි ට්රම්ප් පවසන විට, එවැන්නක් නොකී බවට උතුරු කොරියාව කීය.
කෙසේ වෙතත්, එම හමුවෙන් අනතුරුව උතුරු කොරියානු නායකයා එරට යුද ස්මාරකය සහ වියට්නාම විප්ලවයේ වීරයා ලෙස සැලකෙන හෝ චී මින්ග් අනුස්මරණ ස්මාරකය වෙතද ගොස් පුෂ්පෝපහාර දැක්වීමට කටයුතු කළේය.
එමෙන්ම, වියට්නාම ජනපති නගුයෙන් පුඒ ට්රොන්ග් සමග සාකච්ඡා පැවැත්වූ කිම් ජොන්ග්-උන් දෙරටටම වැදගත් වන සබඳතා තරකර ගැනීමටද කටයුතු කළේය.
සුපුරුදු පරිදි තමා මෙම සංචාරයට පැමිණි දුම්රියෙන්ම ඔහු නැවතත් පිටත්ව ගියේ කිලෝමීටර් දහස් ගණනක දුම්රිය ගමනකට යළිත් ආරම්භයක් ලබාදෙමිනි.