ලොව ජීවත් වීමට සුදුසුම නගරය ලෙස අඛණ්ඩව වසර 7ක් අංක 1ට පැමිණි ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරය දෙවැනි ස්ථානයට ඇද දමමින්, ඔස්ට්‍රියාවේ වියානා නගරය 2018 වසරේ ප්‍රථම ස්ථානයට පැමිණ තිබේ.
ඉකොනොමිස්ට් ඉන්ටෙලිජන්ට් යුනිට් (EIU) විසින් වාර්ෂිකව නිකුත් කරනු ලබන සමීක්ෂණ වාර්තාවට අනුව යුරෝපීය නගරයක් ප්‍රථම වරට ලොව ජීවත් වීමට සුදුසුම නගරය බවට පත්ව ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.
ලොව පුරා රටවල් 140ක් ආශ්රයෙන් එම රටවල දේශපාලනය, සමාජ ස්ථාවරත්වය, අධ්‍යාපනය සහ සෞඛ්‍ය පහසුකම්වලට පහසුවෙන් යොමුවීමේ හැකියාව ආදී කරුණු කාරණා රැසක් ආශ්රයෙන් මෙම සමීක්ෂණය සිදුකරන බව සඳහන් වෙයි.
කෙසේ වෙතත්, මේ වසරේදී මෙල්බර්න් දෙවැනි ස්ථානයට පත්වුවත්, ඔස්ට්‍රේලියාවේ තවත් නගර දෙකක් වන සිඩ්නි සහ ඇඩිලේඩ් යන නගර ජීවත්වීමට සුදුසු නගර අතර මුල් 10 අතර පසුවෙයි.
මෙහි අනෙක් අන්තය වන ජීවත් වීමට නුසුදුසුම නගර අතර ප්‍රමුඛස්ථානය ගෙන ඇත්තේ සිරියාවේ ඩමස්කස් නගරයයි. එහි මීළඟ තත්ත්වය බංග්ලාදේශයේ ඩකා සහ නයිජීරියාවේ ලාගෝස් නගර වෙත පිළිවෙළින් හිමිවී තිබේ.
එම නගරවල පවතින අපරාධ, සිවිල් නොසන්සුන්තාව, ත්‍රස්තවාදය හෝ යුද්ධය ආදී කරුණු එම රටවලට මෙම සමීක්ෂණයේදී අඩුම ලකුණු හිමි වීමට බලපා ඇති බව විදෙස් වාර්තා වැඩිදුරටත් පවසයි.
ජීවත් වීමට සුදුසුම නගර
1. වියානා, ඔස්ට්‍රේලියාව
2. මෙල්බර්න්, ඔස්ට්‍රේලියාව
3. ඔසාකා, ජපානය
4. කැල්ගරි, කැනඩාව
5. සිඩ්නි, ඔස්ට්‍රේලියාව
6. වැන්කුවර්, කැනඩාව
7. ටෝකියෝ, ජපානය
8. ටොරොන්ටෝ, කැනඩාව
9. කෝපන්හේගන්, ඩෙන්මාර්කය
10. ඇඩිලේඩ්, ඔස්ට්‍රේලියාව
ජීවත්වීමට නුසුදුසුම නගර
1. ඩමස්කස්, සිරියාව
2. ඩකා, බංග්ලාදේශය
3. ලාගොස්, නයිජීරියාව
4. කරච්චි, පාකිස්තානය
5. පෝර්ට් මොර්ස්බි, පැපුවා නිව් ගිනියාව
6. හරාරේ, සිම්බාබ්වේ
7. ට්‍රිපෝලි, ලිබියාව
8. ඩුවාලා, කැමරූන් රාජ්‍යය
9. ඇල්ජියර්ස්, ඇල්ජීරියාව
10. ඩාකර්, සෙනගාලය