ඉන්දියාවේ ප්‍රාන්ත මැතිවරණයට පෙර පසුගිය අප්‍රේල් 17දා මුඛ ආවරණයක් හෝ නොපැලඳ, දැවැන්ත දේශපාලන රැලියකට සහභාගී වූ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි පුරසාරම් දොඩමින් ආධාරකරුවන්ගේ ප්‍රීති මුහුදට පැන්නේ "රැලියකදී මෙතරම් විශාල සෙනගක් මා දැක නෑ" යනුවෙන් පවසමිනි.
ඒ වනවිට ඔහුගේ රට මානුෂීය අර්බුදයක අද්දරට ළඟා වී තිබුණි. එදින ඉන්දියාවේ නව කොරෝනා වෛරසය ආසාදිතයන් 261,000කට වඩා වාර්තා වී තිබුණු අතර, සමස්ත වසංගතය තුළ බොහෝ රටවල් දෛනිකව වාර්තා කර තිබූ ආසාදිතයන්ට වඩා අගයකි.
නමුත් ඒ කිසිවක් තම දේශපාලන න්‍යාය පත්‍රය ඉදිරියේ දියාරුකර දැමූ මෝදි, ඉන්දියාවේ වසංගතය පසෙකට තබා කටයුතු කිරීමේ ප්‍රතිඵලයක් ලෙස අප්‍රේල් 22දා වනවිට දෛනික ආසාදන 300,000ක් ඉක්මවා ගියේය.
එය ඇතැම් විට ගෝලීය වශයෙන් වාර්තා වූ දෛනික අඩක් පමණ බව මෝදි දැන නොසිටින්නට ඇත. නවදිල්ලියේ අගනුවර දැන් ආදාහනය සඳහා දැව නොමැති තත්ත්වයක් උද්ගතව තිබේ. රෝහල්වලට තවදුරටත් රෝගීන් ඇතුළත් කරගැනීමට නොහැකි ලෙස ඒවා පිරී ඇති අතර, වෙනත් රටවලින් වෛද්‍ය හා සැපයුම් ලැබුණත් ඔක්සිජන් නොමැතිකම සපුරාලීමට තවමත් ඉන්දියාවට නොහැකි වී ඇත.
ඉන්දීය නායකයා මේ ආකාරයෙන් රට තුළ දේශපාලන සෙල්ලම් දමමින්, විචාර බුද්ධියක් නොමැති බහුතර ඉන්දීය ජනතාව අන්ඳවද්දී, වසංගතයක් මැද මහා ජනරැළි පවත්වද්දී, එරට ජනගහනයෙන් සම්පූර්ණ එන්නත් මාත්‍රා ලබා තිබුණේ 2%ක ප්‍රතිශතයක් පමණක් වීමම ඛේදාන්තයකි. එසේම දැවැන්ත ජනසහභාගීත්වයක් පවතින හින්දු ආගමික උත්සව සඳහා අවසරය ලබාදුන්නේ කිසිදු වගවිභාගයකින් තොරවය. ලොව විශාලතම එන්නත් නිෂ්පාදකයා වූ ඉන්දියාව සේරම් ආයතනයේ ප්‍රධානියාට අද විශේෂ බලකා සෙබලු සහිත ආරක්ෂාවක් ලබාදීමට සිදුව ඇත්තේ මෙවැනි පසුබිමක් තුළය.
මේ සමස්ත ක්‍රියාවලයේ ප්‍රතිඵලයක් ලෙස මේ වනවිට ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙන්ම, එරට පාලක පක්ෂය දැඩි විවේචනයකට බඳුන්වන අතර, වසංගතය පාලනය සම්බන්ධයෙන් ඔවුන් පෙන්වා ඇති අදක්ෂභාවය හා නොසැලකිල්ල, මෝදි සහ භාරතීය ජනතා පක්ෂයේ අනාගතය තීරණය කරනු ඇති බවද දේශපාලන විචාරකයෝ පවසති.