රුමේනියාවේ, බුචාරස්ට් අගනුවර රාජ්‍ය විරෝධී උද්ඝෝෂණ තවදුරටත් ක්‍රියාත්මක වෙමින් පවතින අතර, පෙරදා පැවති උද්ඝෝෂණයේ ගැටුම්වලින් 400කට අධික පිරිසක් තුවාල ලැබූවද, තවත් දහස් ගණනක් යළිත් පාරට බැස තිබේ.
මේ වනවිට රජයේ කාර්යාලය ආසන්නයටම උද්ඝෝෂණ ළඟවී ඇති අතර, වඩාත් තීව්ර හඬින් කෑමොර දෙමින් උද්ඝෝෂකයෝ සටන්පාඨ කියා සිටියද, එය තවමත් ප්රචණ්ඩ ස්වරූපයක් ගෙන නොමැති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.
බුචාරස්ට් අගනුවරට අමතරව, ක්ලූජ්, සිබීයු, ටිමිසෝරා සහ ලාසි යන නගරවලද උද්ඝෝෂණ ක්‍රියාත්මක වෙමින් පවතින බව එරට මාධ්‍ය වාර්තා උපුටා දක්වයි.
පසුගිය සිකුරාදා ආරම්භ වූ උද්ඝෝෂණයේදී 50,000කට ආසන්න පිරිසක් පාරට බැස තිබුණේ රට තුළ මුල්බැස ගෙන ඇති දූෂණය පරදා ජනතාවට ප්‍රමාණවත් තරම් වැටුප් වැඩිවීමක් ලබාදෙන ලෙස ඉල්ලමිනි.
කෙසේ වෙතත්, එදින උද්ඝෝෂකයන් හා පොලීසිය අතර ඇති වූ ගැටුම්වලින් 400කට ආසන්න උද්ඝෝෂකයන් පිරිසක් තුවාල ලැබුවේ පොලීය කඳුළු ගෑස් සහ ජල ප්‍රහාරයක් එල්ල කිරීම නිසාය.
එහිදී, පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකුද තුවාල ලබා තිබුණු අතර, ජනපති ක්ලෝස් ලෝහනිස් පොලීසියේ ප්‍රතිචාර දැක්වීම අනුමත කර නොතිබුණි.