මහා බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්වීම සම්බන්ධයෙන් යුරෝපා සංගමය සමග එකඟ වූ බ්‍රෙක්සිට් සම්මුතිය කෙරෙහි සම්පූර්ණ විශ්වාසය තබන බව අගමැතිනී තෙරේසා මේ පවසා සිටියත්, ඇගේ අමාත්‍ය මණ්ඩලයේ කිහිප දෙනෙකු ඉල්ලා අස්වී තිබේ.
මෙහිදී ඇය අගමැති නිල නිවස ඉදිරියේදී මාධ්‍ය අමතමින් කියා සිටියේ මේ සම්බන්ධයෙන් තමන්ට නිවැරදි යැයි සිතන ඕනෑම අයෙකුට ස්වාධීනව තම ස්ථාවරය ප්‍රකාශ කිරීමට අවස්ථාව පවතින බවයි.
පසුගිය නොවැම්බර් 15දා කැබිනට් අමාත්‍යවරු දෙදෙනෙකු ඇතුළු ඇමතිවරු පිරිසක් මෙම නව බ්‍රෙක්සිට් සැලසුමට විරෝධය පාමින් ඉන් ඉල්ලා අස්වූහ.
කෙසේ වෙතත්, තම පදවිවලින් ඉල්ලා අස්වූ සියලු දෙනාට සිය ස්තුතිය පිරිනමන බව කියා සිටි අගමැතිනිය, බ්‍රෙක්සිට් සම්මුතයේ ඇතැම් කරුණු සම්බන්ධයෙන් ඇතමෙකුට සතුටක් නොමැති බව තමන් හොඳින්ම දන්නා බවද පවසා සිටියාය.
මේ තත්ත්වයත් සමග අගමැතිනියට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කරන බව බ්‍රෙක්සිට් සම්මුතිය වෙනුවෙන් පෙනී සිටින මන්ත්‍රීවරයෙක් යෝජනා කර ඇති බවද විදෙස් වාර්තා පවසයි.
කෙසේ වෙතත්, මෙම විශ්වාසභංගය පිළිබඳ පැනයට පිළිතුරු දෙමින් ඇය කියා සිටියේ "නායකත්වය යනු නිවැරදි තීරණ ගැනීම විනා, පහසු තීරණ ගැනීම නොවන," බවයි.
මේ නිසා අවශ්‍ය වන්නේ නම් විශ්වාස භංගයකට හෝ මුහුණදී තමන් එම සම්මුතිය ඉදිරියට ගෙන යන බව ඇය අවධාරණය කළාය.
කෙසේ වෙතත්, බ්‍රෙක්සිට් සම්බන්ධයෙන් යළිත් වතාවක් ජනමත විචාරණයක් නොපවත්වන බව කියා සිටි තේරේසා මේ අගමිතිනිය, නියමිත පරිදිම බ්‍රිතාන්‍යය ලබන වසරේ මාර්තු 29 වැනි දින යුරෝපා සංගමයෙන් ඉවත්වන බවත් වැඩිදුරටත් අවධාරණය කළාය.
මෙහිදී, විපක්ෂනායක ජෙරමි කෝබින්ද අගමැතිවරිය එකඟ වූ ගිවිසුම දැඩි විවේචනයට ලක් කළ අතර, මතු වී තිබෙන අර්බුදය හේතුවෙන් බ්‍රිතාන්‍ය පවුමේ අගයද 1% ටත් වඩා ප්‍රමාණයකින් වැටී ඇති බව විදෙස් වාර්තා වැඩිදුරටත් පවසයි.