බංග්ලාදේශයේ ඩකා අගනුවර ඓතිහාසික ප්‍රදේශයක හදිසියේ හටගත් ගින්නක් හේතුවෙන් පුද්ගලයන් 70ක් පමණ ජීවිතක්ෂයට පත්ව ඇති බව විශ්වාස කෙරෙයි.
ජනයා ගැවසෙන ගොඩනැගිල්ලක ඊයේ රාත්‍රියේ මෙම ගින්න ආරම්භ වී ඇති අතර, එම ගොඩනැගිල්ලේ එක් මහලක රසායනික ද්‍රව්‍ය තොගයක් ගබඩා කර තබා ඇති නිසා ගින්න ක්ෂණිකව තවත් ගොඩනැගිලි වෙත පැතිරී තිබේ.
විවාහ මංගල උත්සවයක් සඳහා සහභාගී වී සිටි පිරිසක්ද ගින්නට හසුව ඇති බව විශ්වාස කෙරෙයි.
නගරයේ ඉතා පැරණි දිස්ත්‍රික්කයක් ලෙස සැලකෙන චෝක් බසාර් ප්‍රදේශයේ ඉතා පටු මාර්ග පවතින අතර, ඇඟිලි ගැසිය නොහැකි ඉඩක ගොඩනැගිලි ඉදිව පවතින බවද කියැවෙයි.
බංග්ලාදේශ පොලීසිය පවසන්නේ ඊයේ රාත්‍රී 11.40ට පමණ ගින්න ආරම්භ වී ඇති බවයි.
ඉතා පටු මාර්ග පැවතීමත්, ජලය පහසුවෙන් ලබාගැනීමට නොහැකි වීමත් නිසා ගින්න මැඬපැවැත්වීම අතිශය අසීරු කාර්යයක් වූ බව ගිනි නිවන හමුදාව පවසා තිබේ.
සිද්ධියෙන් තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති අතර, මියගිය සංඛ්‍යාව වැඩිවිය හැකි බවද විශ්වාස කෙරෙයි.