බංග්ලාදේශයේ පැරණි ඩකා අගනගරයට අයත් ප්‍රදේශයෙහි පිහිටි ගොඩනැගිල්ලක පෙරේදා මධ්‍යම රාත්‍රියේ ඇති වූ හදිසි ගින්නකින් මියගිය පිරිස ඊයේ (21දා) සන්ධ්‍යා භාගය වනවිට 78ක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වෙයි.
මහල් නිවාසයක් ලෙස භාවිත කළ ගොඩනැගිල්ලක ගින්න හටගෙන ඇති අතර, එහි බිම් මහල රසායනික ද්‍රව්‍ය ගබඩාවක් ලෙස යොදාගෙන තිබූ බවත්, ගින්න මැඬපැවැත්වීම සඳහා ඊයේ අලුයම් කාලය වනතුරුත් දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදුවූ බවත් බංග්ලාදේශ ගිනි නිවන හමුදාව පවසයි.
මේ අතර, ගින්න පැතිරෙන අවස්ථාවේදී විවාහ මංගල උත්සවයකට සහභාගී වී සිටි පිරිසක්ද මෙම ඛේදවාචකයට ගොදුරුව තිබේ. කෙසේ වෙතත්, ගින්න ආරම්භ වීමට හේතුව මෙතෙක් අනාවරණය කරගෙන නොමැති අතර, ගින්න බිම් මහලේ රසායනික ද්‍රව්‍ය ගබඩාකර තිබූ කාමරයට පැතිරීමෙන් මෙය මහා ඛේදවාචකයක් දක්වා දුරදිග ගොස් ඇති බව පොලීසිය පවසයි.
ශතවර්ෂ ගණනාවක් පැරණි චෝක්බසාර් ලෙස ප්‍රකට මෙම දිස්ත්‍රික්කය තුළ ඉතා පටු මංමාවත් පැවතීමත්, අඟලෙන් අඟල නිවාස ඉදිකර තිබීමත් නිසා ගිනි නිවන හමුදාවට ඒ වෙත ළඟාවීමට මෙන්ම, අවශ්‍ය ප්‍රමාණයට ජලය යොදාගෙන ගින්න මැඬ පැවැත්වීමට බාධා පැමිණ තිබේ.දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදුව තිබේ.
බංග්ලාදේශ රෝහල් ආරංචි මාර්ග පෙන්වා දෙන පරිදි, ගින්න හේතුවෙන් තවත් විශාල පිරිසක් තුවාල ලබා තිබේ. ක්ෂණිකව ඇතිවී තිබෙන මෙම ගින්න සමග සෙසු ගොඩනැගිලි තුළ තවත් බොහෝ පිරිසක් සිරවී ඇති අතර, මියගිය සංඛ්‍යාව මීට වඩා වැඩිවිය හැකි බවද බංග්ලාදේශ පොලීසිය වැඩිදුරටත් පවසයි.