බංග්ලාදේශයේ සිට ඩුබායි දක්වා ගමන් කළ යානයක් පැහැර ගැනීමට තැත් කළ එම යානයේ ගමන්ගත් මගියෙකු එරට විශේෂ බලකා ප්රහාරයකින් ජීවිතක්ෂයට පත්ව තිබේ.
යානය චිතගොං වෙත හදිසි ගොඩබෑමක් සිදුකළ අවස්ථාවේදී තමා සතුව පිස්තෝලයක් ඇති බවට මෙම මගියා අනතුරු අඟවා ඇති අතර, පසුව ආරක්ෂක අංශ සිදුකළ වෙඩි තැබීමෙන් ඔහු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් වාර්තා පවසයි.
බිමාන් බංග්ලාදේශ් ගුවන් සේවයට අයත් බී.ජී. 147 දරණ යානය පැහැරගැනීමට උත්සාහ කළ අවස්ථාවේ එහි කාර්ය මණ්ඩලය සහ මගීන් ඇතුළු 148 දෙනෙකු ගමන් කරමින් සිට තිබේ.
කෙසේ වෙතත්, මෙම සැකකරු යානය පැහැරගැනීමට උත්සාහ කළේ කවර හේතුවක් නිසාද යන්න මෙතෙක් පැහැදිලි නැත.
මේජර් ජෙනරාල් මුටීර් රහ්මන් කියා සිටියේ සැකකරු අත්අඩංගුවට ගැනීමට ඔවුන් උත්සාහ කළත් ඔහු අවනත නොවූ බැවින් වෙඩි තැබීමට සිදුවූ බවයි.
ඔහු බංග්ලාදේශ ජාතිකයෙකු බව මේ වනවිට හඳුනාගෙන ඇති බවත්, ඔහු සතුව පිස්තෝලයක් තිබූ බවත්, ඒ හැර කිසිවක් නොතිබූ බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.