ඉන්දියාවේ හයිද්‍රාබාද්හිදී තරුණ පශු වෛද්‍යවරියක සමූහ දූෂණයකට ලක්කර ඝාතනය කළ බවට සැක කෙරුණු පුද්ගලයන් සිව් දෙනෙකු ඉන්දීය පොලිසිය වෙඩි තබා ඝාතනය කර තිබේ.
අදාළ සැකකරුවන් පොලිස් අත්අඩංගුවේ පසුවූ අතර අද (06දා) ඔවුන් අපරාධය සිදුවූ ස්ථානය වෙත රැගෙන ගිය බවත්, එහිදී ඔවුන් පළා යෑමට ඉඟි කරමින්, තවත් දෙදෙනෙකු පොලීසියේ ගිනි අවි පැහැර ගැනීමට උත්සාහ කළ නිසා ආත්මාරක්ෂාව වෙනුවෙන් පොලීසිය ඔවුන්ට වෙඩි තැබූ බව සඳහන් කර ඇත.
ඝාතනයට ලක්වූ 27 හැවිරිදි පශු වෛද්‍යවරියගේ පුළුස්සා දමන ලද මළ සිරුර පසුගිය බ්‍රහස්පතින්දා හමු වූ අතර ඒ සම්බන්ධයෙන් පොලිසිය නිසි පියවර නොගත් බව පවසමින් දැඩි විරෝධතා රට පුරා පැවැත්විණි.
කෙසේ වෙතත්, සැකකරුවන් ඝාතනය කෙරුණු බවට පුවත් පළ වීමෙන් පසුව, රතිඤ්ඤා දල්වමින් ජනතාව සතුට පළ කළ අතර, ඉන්දීය පොලීසියට ආචාර පුදකරමින් කෑ ගසන්නට විය.
එමෙන්ම, අදාළ පශු වෛද්‍යවරියගේ මව සඳහන් කර තිබුණේ තම දියණියට "සාධාරණය ඉටු වූවා" යනුවෙනි.
ලිංගික අපයෝජන සහ දූෂණ සම්බන්ධයෙන් පවතින නීතිරීති සම්බන්ධයෙන් ඉන්දියාව පුරා දැඩි කතාබහක් පවතින්නේ ඉන්දීය වෛද්‍ය සිසුවියක බස් රථයක් තුළ සමූහ දූෂණයකට ලක්වීමේ සිද්ධියේ සිටය.
ඒ අනුව, නීති මාර්ගයෙන් ප්‍රශ්න විසඳා ගැනීමෙන් ඔබ්බට මෙවැනි අපරාධ සඳහා ක්ෂණිකව හා උපක්රමිකව දඬුවම් ලබාදීමේ දැඩි ක්‍රියාමාර්ගයකට ඉන්දියාව මේ වනවිට යොමුවී ඇති බව මෙම සිදුවීමෙන් ගම්‍ය වෙයි.