පාකිස්තාන අත්අඩංගුවේ සිටින
ඉන්දීය නියමුවාට අද නිදහස?
ඉන්දියාව හා පාකිස්තානය අතර යුද උණුසුම සංසිඳෙන බවට හා සාමයට ඉඟි පළ කරමින් තම අත්අඩංගුවේ පසුවන ඉන්දීය ගුවන් නියමුවා අද (28දා) නිදහස් කරන බව පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් පවසා තිබේ. හෙතෙම එරට පාර්ලිමේන්තුවේදී මෙම තීරණය ප්රකාශයට පත්කර ඇත.
මෙම තීරණය ප්රකාශයට පත්කරමින් ඉම්රාන් ඛාන් වැඩිදුරටත් පවසා ඇත්තේ, ඇතිවී තිබෙන උණුසුම් තත්ත්වය සමනයට පත්කිරීමේ අරමුණින් මෙම තීරණය ගත් බවයි. එහිදී, ඉන්දීය ආරක්ෂක අංශ පාකිස්තානයේ මෙම තීරණය ඇගයීමට ලක්කර තිබේ.
කෙසේ වෙතත්, කාශ්මීර ප්රදේශය තුළ ඊයේ (27දා) දිනයේදීද වෙඩි හුවමාරු වාර්තා වූ බව විදෙස් වාර්තා පවසයි. පසුගිය බදාදා පාකිස්තාන ගුවන් සීමාවට ඇතුළු වූ ඉන්දීය ප්රහාරක ජෙට් යානා දෙකක් පාකිස්තාන ගුවන් හමුදා ප්රහාරවලින් බිම හෙළීමෙන් අනතුරුව දෙරට අතර ගැටුම්කාරී තත්ත්වය උත්සන්න විය.
අභිනන්දන් වර්තාමන් නමැති මෙම ගුවන් නියමුවා පාකිස්තාන අත්අඩංගුවට පත්වීම මෙම යුද උණුසුමෙහි ඉන්දියාව අවඥාවට ලක්වූ අවස්ථාවක් බවද දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති. එහිදී, මෙම උණුසුම් තත්ත්වය හමුවේ දෙරටම දැඩි පීඩනයක පසුවූ බව නොරහසකි.