උතුරුදිග සුඩානයේදී නයිල් ගංගාව තරණය කළ බෝට්ටුවක් පෙරළීමෙන් පාසල් දරුවන් 24 දෙනෙකු සහ සෞඛ්‍ය සේවකයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙම බෝට්ටුව අනතුරට පත්වන අවස්ථාවේදී එහි දරුවන් 40 දෙනෙකු පමණ සිට ඇති බව අනාවරණය වන අතර, මියගිය සංඛ්‍යාව වැඩිවිය හැකි බවද විදෙස් වාර්තා පෙන්වා දෙයි.
දැඩි වර්ෂාපතනය හමුවේ ඇති වූ ගංවතුරද සමග ගංගාවේ කිලෝමීටර් 2.5ක් පමණ පළලම ස්ථානයක් තරණය කරමින් සිටියදී මෙම අනතුර සිදුව තිබේ.
මියගිය දරුවන් වයස අවුරුදු 7ත් 16ත් අතර වයස්වල පසුවූවන් වන අතර, ගංගාව මධ්‍යයේදී පැවති අයහපත් තත්ත්වය සමග දරුවන් බියට පත්ව බෝට්ටුවේ පැත්තකට පැමිණීමෙන් පසුව එය පෙරළී ගොස් ඇත.
මෙම සිද්ධියෙන් මියගිය දරුවන් දෙදෙනෙකුගේ සිරුරු පමණක් මෙතෙක් හමුවී ඇති බව සුඩාන බලධාරීහු පවසති.
කෙන්බා උසස් විද්‍යාලයේ විදුහල්පතිවරයා පවසා ඇත්තේ මෙම දරුවන් සාමාන්‍යයෙන් දෙපයින් පාසලට පැමිණීමට පුරුදුව සිටියත්, දැඩි වර්ෂාපතනයත් සමග ඇති වී තිබූ ගංවතුර තත්ත්වය නිසා පසුගිය සතිය පුරා ඔවුන් බෝට්ටුවෙන් පාසලට පැමිණි බවයි.
මියගිය දරුවන්ගෙන් වැඩිදෙනා ගැහැණු දරුවන් වන අතර, එක් පවුලක ගැහැණු දරුවන් 5ක්, තවත් පවුල් 3ක දරුවන් දෙදෙනා බැගින් හා තවත් පවුල් 2ක දරුවන් තිදෙනෙකු බැගින් මෙම අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් වාර්තා වැඩිදුරටත් පවසයි.