තායිලන්තයේ ගුහා සංකීර්ණයක සිට බේරාගැනුණු වයිල්ඩ් බෝර්ස් කණිෂ්ඨ පාපන්දු කණ්ඩායමේ පුහුණුකරු ඇතුළු දරුවන් තිදෙනෙකුට තායිලන්තය තුළ ස්ථීර පුරවැසිභාවය ලබාදීමට එරට රජය ක්‍රියාකර තිබේ.
මෙම පාපන්දු පුහුණුකරු මෙන්ම, එම අවාසනාවන්ත ඉරණමට ගොදුරුව බේරාගැනුණු දරුවන්ගෙන් තිදෙනෙකු තායිලන්තය තුළ ජීවත්වන රටක් නොමැති 480,000ක් වන සරණාගතයන්ට අයත් වූවන් බව හඳුනාගෙන තිබුණි.
ඒ අනුව, මෙම පිරිස සඳහා වූ ස්ථීර පුරවැසිභාවය ලබාදීම සඳහා අවශ්‍ය ලියාපදිංචි කිරීම් ක්‍රියාවලිය කඩිනම් කිරීමට තායිලන්ත රජය කටයුතු කර තිබුණි.
පසුගිය ජූනි 23දා මෙම පිරිස ගුහා සංකීර්ණයේ සිරවූයේ එය නැරඹීමට ගිය අවස්ථාවේ හදිසියේ ඇති වූ ගංවතුර තත්ත්වය නිසාය.
ඔවුන්ගෙන් තොරතුරක් නොවූයෙන් ඇරඹි මෙහෙයුම්වල ප්‍රතිඵලයක් ලෙස බ්‍රිතාන්‍ය ජාතික කිමිදුම් විශේෂඥයන් දෙදෙනෙකු විසින් මුලින්ම මෙම පිරිස සොයාගනු ලැබුවේ ඔවුන් අතුරුදන්වීමෙන් දින නවයකට පසුවය.
අවසානයේදී මේ සංකීර්ණ ගුහාවේ සිරවී සිටි දරුවන් බේරාගැනීම ලෝකයේ ප්‍රබල රාජ්‍යයන් කිහිපයකද සහයෝගය ඇතිව දින 18කට පමණ පසුව සිදුවූ අතර, දරුවන්ගේ පාපන්දු පුහුණුකරු මෙම දරුවන් නොනැසී රැකගැනීම සඳහා ප්‍රබල සාධකයක් බව පසුව අනාවරණය කෙරිණි.
චියෑන්ග් රායි දිස්ත්‍රික්කයේ මාඒ සායි ප්‍රදේශයේ රජයේ ප්‍රධාන නිලධාරියා විසින් මෙම පිරිසට පුරවැසිභාවය සහතික කරන නිල වශයෙන් ප්රදානය කෙරිණි.
එම අවස්ථාවේදී පාපන්දු පුහුණුකරු ලෙස කටයුතු කර එක්කාපෝල් වස් තුන් මාසය තාවකාලික පැවිද්ද ලබා සිටි අතර, මෙම දරුවන්ද සතියකට වැඩි කාලයක් එසේ තාවකාලික පැවිද්ද ලබා පසුව, යළි නිවෙස් බලා ගොස් සිටියහ.