ලෝකයේ රාජ්‍යයන් කිහිපයක්ම සිය ගුවන් සේවාවල ක්‍රියාත්මක බෝයිං 737 Max 8 යානා ගොඩබැස්වීමට කටයුතු කර ඇති බව විදෙස් වාර්තා පවසයි.
ඉතියෝපියානු ගුවන් සේවයට අයත් 737 Max 8 මාදිලියේ, ET302 යානය ඊයේ (10දා) අඩීස් අබ්බාස් නුවරින් ගුවන්ගතව කිලෝමීටර් 60ක් නුදුරින් ජීවිත 157ක් සමග කඩා වැටීම මෙම තීරණයට හේතු වී තිබේ. එමෙන්ම, මාස 5ක් තුළ මෙම වර්ගයේ යානයක් කඩා වැටුණු දෙවැනි අවස්ථාව මෙයයි.
ඒ අනුව, ප්‍රධාන වශයෙන් චීන ගුවන් සේවා නියාමකයන් විසින් 737 Max 8 මාදිලියේ යානා සියල්ල ගොඩබස්වන ලෙස නියෝග කර ඇති අතර, එයාර් චයිනා, චයිනා ඊස්ටන් එයාර්ලයින්ස් සහ චයිනා සදර්න් එයාර්ලයින්ස් මීට ප්‍රතිචාර දක්වා තිබේ. චීනය තුළ පමණක් 737 Max 8 මාදිලියේ යානා 90කට වැඩි ප්‍රමාණයක් භාවිත වන බව කියැවෙයි.
මෙය ගුවනට අලුත් මාදිලියක් වන අතර, 2017 වසරේ සිට 737 Max 8 යානා වාණිජ මට්ටමින් භාවිත කිරීම ආරම්භ කෙරිණි. එමෙන්ම, මෙම අනතුර සම්බන්ධයෙන් සිය බලවත් කනගාටුව ප්‍රකාශ කර ඇති බෝයිං සමාගම, ඒ සම්බන්ධයෙන් වූ කඩිනම් පරීක්ෂණ සඳහා කණ්ඩායමක්ද ඉතියෝපියාව වෙත පිටත්කර යවා තිබේ.
ඉන්දීය රජයද මේ වනවිට ගුවන් සේවා නියාමකයන් සමග මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරමින් සිටින අතර, ජෙට් එයාර්වේස් සහ සිපයිස් ජෙට් මෙම යානා භාවිත කරයි. බෝයිං වෙබ් අඩවියට අනුව ලෝකයේ ගුවන් සේවා 16ක මෙම යානා භාවිත කෙරෙයි.