කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව මේ වනවිට 3,305ක් ලෙස වාර්තා වන අතර, ඉන් මරණ 263ක් චීනයෙන් පිටත සිදුවීම්ය.
එමෙන්ම මේ වනවිට වෛරසය ආසාදිතයන්ගේ ප්‍රමාණය 95,410ක් ලෙස සඳහන් වන අතර, රෝගය සුවවූ පිරිස 53,726ක් බවද කියයි.
එහිදී, චීනයෙන් පිටත වෛරසය ආසාදිතයන්ගේ පිරිස මේ වනවිට 14,700 ඉක්මවා වාර්තා වීම සැලකිය යුතු අවධානමක් මේ සම්බන්ධයෙන් ගැනීමට හේතු වී ඇත.
විශේෂයෙන්ම දකුණු කොරියාවේ පමණක් සිදුවීම් 6,284ක් වාර්තා වන අතර, මරණ 42කි. එමෙන්ම ඉරානයේ සහ ඉතාලයේ 3,000කට වැඩි ආසාදිතයන් වාර්තා වෙයි.
ජපානයේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1,057ක් වන අතර, මරණ 12ක් වාර්තා වෙයි.
එක්සත් ජනපදයද මේ වනවිට වෛරසය නිසා දැඩි බලපෑමකට ලක්ව ඇති අතර, එරට ප්‍රාන්ත දෙකක හදිසි අවස්ථාද ප්‍රකාශයට පත්කර තිබේ.
කොරෝනා වෛරසයට අලුතින් ගොදුරු වූ රාජ්‍යයන් අතරට අයර්ලන්තය දැක්විය හැකි අතර, එරට රෝගීන් 13 දෙනෙකු හමුවී ඇත.
එමෙන්ම මහා බ්‍රිතාන්‍යයෙන්ද මේ වනවිට ආසාදිතයන් 116 දෙනෙකු හඳුනාගෙන ඇති බව එරට සෞඛ්‍ය බලධාරීන් පවසන අතර, ඒ හා සම්බන්ධ ප්‍රථම මරණයද එරටින් වාර්තා වෙයි.
ප්‍රංශයේ කොරෝනා ආසාදිතයන් හත් දෙනෙකු මේ වනවිට ජීවිතක්ෂයට පත්ව ඇති අතර, ආසාදිත පිරිස 423කි.
මෙම තත්ත්වය ලෝක ආර්ථිකයටද බලපෑම් එල්ල කරන බව ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙන අතර, ලොව ප්‍රමුඛතම කොටස් වෙළෙඳ පොළ රැසක කඩා වැටීම් දැකගත හැකිය.
ඉල්ලුම අඩුවීම නිසා බොරතෙල් මිල දිගින් දිගටම කඩා වැටීම හේතුවෙන් තෙල් සැපයුම අඩු කිරීමට ඔපෙක් සංවිධානය තීරණය කර තිබේ.