කොරියානු යුද්ධය පැවති වර්ෂ 1950 - 53 කාලයේදී බෙදී වෙන්වූ කොරියානුවන් පිරිසක් සිය ඥාතීන් මුණ ගැසීමේ අවස්ථාවක් මෙවර උතුරු කොරියාවේදී පැවැත්වෙයි.
යුද්ධය හේතුවෙන් කොරියානු අර්ධද්වීපය බෙදී වෙන්වීමත් සමග දශක කිහිපයක් යනතුරු උතුරු කොටසේ ජනතාවට සිය දකුණේ ඥාතීන් දැකගැනීමට කිසිදු අවස්ථාවක් හිමි නොවීය.
ඒ අනුව, මෙම දෙරට අතර බෙදී වෙන්වූ ඥාතීන් මුණ ගැසීමේ හමු කිහිපයක් මීට පෙර අවස්ථා කිහිපයකදී සිදුවී තිබුණත්, එහිදී බොහෝ අවස්ථාවල උතුරු කොරියානුවන් දකුණට පැමිණීම සිදුවිය.
කෙසේ වෙතත්, මෙවර හමුව සිදුවන්නේ වසර තුනකට පසුව වීමද විශේෂත්වයක් වන අතර, මෙම සංචාරයට ලොතරැයි ක්රමයකට දකුණු කොරියානුවන්ට අවස්ථාව හිමිවී ඇති බවද එරට වාර්තා පෙන්වා දෙයි.
මෙම සංචාරයට එක්වූ වයස්ගතම දකුණු කොරියානුවා වයස අවුරුදු 101ක පුද්ගලයෙකි.
මෙකී හමුවට උතුරු කොරියානුවන් 83 දෙනෙකු සහ දකුණු කොරියානුවන් 89 දෙනෙකු සහභාගී වන අතර, ඇතැම් පිරිස් මූලිකව මෙම කණ්ඩායමට තෝරා ගත්තත් ඔවුන්ට මෙම දෙරට තුළ හමුවීම සඳහා තවදුරටත් ඥාතියෙකු නොමැති වීම නිසා ඔවුන්ට එම කණ්ඩායමෙන් ඉවත්වීමට සිදුව ඇති බවද සඳහන් වෙයි.
මෙම සංචාරයට එක් වූ 92 හැවිරිදි වයෝවෘද්ධ කාන්තාවක පවසා තිබුණේ තම පුතා දැකගැනීමේ අරමුණින් ඊට සහභාගී වන බවයි. කොරියානු යුද්ධයෙන් පසුව ඇයට සිය පුතා දැකගැනීමට අවස්ථාවක් ලැබී නොතිබුණි.