නිසි පාසල් අධ්‍යාපනයක් නොලැබූවද, කාලයාගේ ඇවෑමෙන් ඉන්දීය දේශපාලනයේ ප්‍රබල භූමිකාවක් නිරූපණය කළ එම්. කරුණානිධිගේ අභාවයෙන් ඔහුගේ ආධාරකරුවන් හා සමීපතමයන් දැඩි සංවේගයට පත්ව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
මියයන විට 94 වෙනි වියේ පසුවූ ඔහු වසර කිහිපයක සිට වරින් වර රෝගාතුර විය. එහි උත්සන්නතම අවස්ථාව ලෙස පසුගියදා හදිසියේ යළිත් රෝහල්ගත කළ කරුණානිධි සිය වයෝවෘද්ධභාවය හේතුවෙන්ම ඇති වූ රෝගී තත්ත්වයන් සමග දිවි ගමනට සමුදුන් බව වෛද්‍යවරු පැවසූහ.
වර්ෂ 1969 සහ 2011 අතර කාලයේදී පස් වරක් තමිල්නාඩු මහ ඇමති ධුරය හොබවා ඇති කරුණානිධි, ඉන්දීය මධ්‍ය දේශපාලනයේ කැපී පෙනෙන චරිතයක්ව සිටියේය. එමෙන්ම, ඔහු තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණ 13ක් සඳහා ඉදිරිපත් වෙමින් ජයග්‍රහණය ලබා ඇත.
පසු කාලයේදී ඔහු දෙමළ සිනමාව තුළ සාර්ථක තිරපිටපත් රචකයෙකු ලෙසද ඉන්දීය චිත්‍රපට ලෝලීන් අතරද නමක් දිනාගනු ලැබීය.
තම දිවියේ අවසානය තෙක් ක්‍රියාකාරී දේශපාලනයේ රැඳී සිටි ඔහු මෑතකදී ප්‍රාන්ත සභාව සඳහා තරග වැදුනේ 2016 වසරේදීය. එවරද කරුණානිධි තරග කළේ සිය දීර්ඝ කාලීන විරුද්ධවාදියා වූ පසුගිය වසරේ මියගිය ජයරාම් ජයලලිතාට එරෙහිවය.
තමිල්නාඩු දේශපාලනය ගැන කතා කිරීමේදී ජයලලිතා සහ කරුණානිධි නාමය කිසිසේත්ම අමතක කළ නොහැකි අතර, මේ වනවිට වසරක් තුළ මේ චරිත දෙකම තමිල්නාඩුවෙන් නික්ම යෑමද එම ජනතාවට දරාගත නොහැකි තත්ත්වයක් බවට පත්ව තිබේ.
කරුණානිධි බොහෝ අවස්ථාවල තමාව හඳුන්වා දෙනු ලැබුවේ අනාගමිකයෙකු සහ හේතුවාදියෙකු ලෙසිනි. 1940 දශකයේ බ්රාහ්මීය කුලවාදයට එරෙහිව නැගුණු ද්‍රවිඩ ව්‍යාපාරය මෙන්ම හින්දි භාෂා විරෝධයට දැක්වූ සිය දායකත්වය හරහා දේශපාලනික වශයෙන් ඔහු දමිළ දේශපාලනයේ හදවත් දිනාගත් චරිතයක් බවට පත්විය.
#RIPKalignar යන ට්විටර් හෑෂ්ටැග් එක යටතේ ඔහුගේ වියෝව සම්බන්ධයෙන් කනගාටුව ප්‍රකාශ කිරීම් ගලාඑමින් පවතී. මෙහි, කලෛඥර් යනු දෙමළ බසින් කලාකරු යන අර්ථය ගැන්වෙන අතර, සිනමාව හා සාහිත්‍යය වෙනුවෙන් කරුණානිධි දැක්වූ දායකත්වය අගයනු වස් එනමින් ඔහුව හඳින්විණි.
වර්ෂ 1924 ජුනි 03දා තමිල්නාඩුවේ නාගපට්ටිනම් දිස්ත්‍රික්කයේ තිරුකුවලයි ගම්මානයේදී උපත ලැබූ මුතුවේල් කරුණානිධි, වර්ෂ 1938 දී සාධාරණය සඳහා පක්ෂයේ නායකයන්ගෙන් ආභාෂය ලබමින් ඉතා තරුණ වියේදීම දේශපාලනයට උනන්දුවක් දැක්වීය. ඔහු තමිල්නාඩුවේ දෙමළ ශිෂ්‍ය සමාජය නමින් ශිෂ්‍ය කණ්ඩායමක් ආරම්භ කිරීම වර්ෂ 1941 දී සිදුවිය.
ඉන් වසර තුනක් ඉක්ම යන තැන 1944 සැප්තැම්බර් මාසයේදී පද්මාවතී සමග විවාහ දිවියට ඇතුළු වූ කරුණානිධිගේ පුත්‍රයා එම්.කේ. මුතු නම් වෙයි. කෙසේ වෙතත්, 1948 සැප්තැම්බර් මාසයේදීම සිය පළමු බිරිඳගේ අභාවයෙන් පසු දයාලු අම්මල් සමග විවාහ වූ කරුණානිධිට, සිය නව විවාහයෙන් එම්.කේ. ස්ටාලින්, එම්.කේ. තමිලරසි, එම්.කේ. අසගිරි සහ සෙල්වි ඔවුන්ගේ දරුවන් සිව්දෙනෙකු සිටිති.
කරුණානිධි විසින් පිටපත් රචිත 'මන්ත්රීකුමාරි' චිත්‍රපටය එළිදැක්වීම වර්ෂ 1950 දී සිදුවිය. එමෙන්ම, වර්ෂ1952 දී කරුණානිධි විසින් පිටපත් රචිත 'පරශක්ති' චිත්‍රපටය එළිදැක්වීය. දෙමළ සිනමාවේ තාරුකාව බවට පසුකාලීනව පත්වූ සිවාජි ගනේෂන් මුලින්ම රඟපෑවේ එම චිත්‍රපටයේ වීමද විශේෂත්වයකි.
වර්ෂ 1957 දී පළමු වරට තමිල්නාඩු ප්‍රාන්ත සභාවේ මන්ත්‍රීවරයෙකු වශයෙන් තේරී පත්වූ එම්. කරුණානිධි, 1962 දී තමිල්නාඩු ප්‍රාන්ත සභාවේ විපක්ෂයේ නියෝජ්‍ය නායකයා වශයෙන් තේරී පත්විය. කෙසේ වෙතත්, ඉන්දීය ව්‍යවස්ථාවේ පිටපතක් ගිනි තැබීමේ වරදට හය මසක සිරදඬුවමකට ඔහු යටත් වූයේ වර්ෂ 1963 දීය. ද්‍රවිඩ මුනේත්ර කසාගම් (ඩී.එම්.කේ) පක්ෂය ප්‍රාන්තයේ බලයට පත්වීමත් සමග ප්‍රාන්තයේ ඇමති පදවියකට පත්වීමට වර්ෂ 1967 දී ඔහුට හැකි විය. කෙසේ වෙතත්, 1969 පෙබරවාරි 10දා පක්ෂයේ නායක සී.එන්. අන්නාදුරෙයිගේ අභාවයෙන් පසුව ප්‍රාන්තයේ මහ ඇමති පදවියට ප්‍රථම වරට පත්වීමට තරම් එම්. කරුණානිධි වාසනාවන්ත විය. එමෙන්ම, 1969 ජූලි මස ඩී.එම්.කේ. පක්ෂයේ නායකත්වයට පත්වීමටද ඔහුට හැකි විය.
මේ අතර කාලයාගේ අවෑමෙන් ඩී.එම්.කේ. පක්ෂයෙන් ඉවත් වූ එම්.ජී. රාමචන්ද්‍රන් ඒ.අයි.ඒ.ඩී.එම්.කේ. නමින් වෙනම පක්ෂයක් පිහිටුවනු ලැබුවේ වර්ෂ 1972 ඔක්තෝබර් මාසයේදීය. එමෙන්ම, එල්.ටී.ටී.ඊ.ය පැවති සමයේදී ශ්‍රී ලංකාවේ උතුරේ දේශපාලනය සම්බන්ධයෙන්ද වරින් වර අතපෙවූ දේශපාලඥයෙකු ලෙස ඔහු හැඳින්විණි. විශේෂයෙන්ම, වර්ෂ 1986 දී ශ්‍රී ලංකාවේ දෙමළ ජනයා ඉලක්ක කරමින් TESO සම්මන්ත්‍රණය ඔහු පැවැත්වීය.
මේ අතර, 1989 දී එම්.ජී. රාමචන්ද්‍රන්ගේ අභාවයෙන් පසු කරුණානිධි තුන්වැනි වරටත් තමිල්නාඩුවේ මහ ඇමති ධුරයට පත්විය. කෙසේ වෙතත්, වර්ෂ 2001 මැතිවරණයෙන් පරාජයවීමෙන් පසු ජයලලිතා පාලනය විසින් කරුණානිධි අත්අඩංගුවට ගනු ලැබීය. නමුත්, 2006 දී පස් වැනි වතාවටත් ප්‍රාන්තයේ බලයට පත්වීමට ඔහුට හැකිවිය.
වර්ෂ 2013 දී සිය පුත් ස්ටාලින් තමාගේ දේශපාලන අනුප්‍රාප්තිකයා වශයෙන් නම් කළ කරුණානිධි, සිය දේශපාලන දිවියේ අවසාන සමයේදී මුහුණදුන් 2014 පාර්ලිමේන්තු මැතිවරණය සහ 2016 ප්‍රාන්ත මැතිවරණය පරාජයට පත්විය.
ඔහුගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා චෙන්නායි නුවර රාජාජි ශාලාවේ දේහය මේ වනවිට තැන්පත් කර ඇති අතර, දහස් ගණන් ජනයා ඊට අවසන් ගෞරව දැක්වීම සඳහා පැමිණෙන බව ඉන්දීය මාධ්‍ය පවසයි.
චෙන්නායි නුවර, මරීනා බීච් හි ඩී.එම්.කේ. පක්ෂයේ ආදිකර්තෘ සී.එන්. අන්නාදුරෙයිගේ දේහය තැන්පත් කර ඇති ස්ථානය සමීපයේ ස්ථානයක එම්. කරුණානිධිගේ දේහය තැන්පත් කිරීම සඳහා අවසරය ලබාගැනීමේ අධිකරණ ක්‍රියාවලියක්ද සිදුවෙමින් පැවතිණි.