ධුරයේ සිටින ඇමෙරිකානු ජනාධිපතිවරයෙකු ප්‍රථම වරට උතුරු කොරියාවට පියවර එසවීමත්, කොරියානු රාජ්‍යයන් දෙකෙහි රාජ්‍ය නායකයන් සහ ඇමෙරිකානු නායකයා එක මේසයේ කතාබහ කිරීමත් කොරියානු අර්ධද්වීපයේ සාමය කෙරෙහි දැවැන්ත පියවරක් බව විදෙස් වාර්තා පවසයි.
උතුරු කොරියාව සහ දකුණු කොරියාව අතර පිහිටි යුද මුක්ත කලාපයක් බඳු දේශසීමා නගරයේදී උතුරු කොරියානු නායක කිම් ජොන්ග්-උන්ට අතටඅත දුන් ට්‍රම්ප්, දකුණුකොරියානු දේශසීමාවේ සිට පියවර දහයක් පමණ උතුරු කොරියාව දෙසට ඇවිද ගොස් ධුරයේ සිටියදී එරටට පය තැබූ ප්‍රථම ඇමෙරිකානු නායකයා බවටද ඉතිහාසගත විය.
තමන් ට්විටර් පණිවුඩයකින් සිදුකළ ආරාධනය පිළිගැනීම ගැන, උතරු කොරියානු නායක කිම් ජොන්ග්-උන් වෙත විශේෂ ස්තූතියක් කිරීමට ට්‍රම්ප් අමතක නොකළ අතර, කිම් ජොන්ග්-උන්ද මහත් ඕනෑකමින් හා ඉතා කුළුපග මිතුරෙකු හමුවූ ආකාරයෙන් ට්‍රම්ප් සමග එකට සිටින ආකාරය දැකිය හැකි විය.
ඉන් අනතුරුව පැවති සාකච්ඡාවලදී වෙනදා උතුරු කොරියාව හා ඇමෙරිකාව අතර පමණක් වූ ද්වීපාර්ශ්වික සාකච්ඡාවෙන් ඔබ්බට ගොස්, මෙවර දකුණු කොරියානු නායක මූන් ජේ-ඉන්ද සහභාගී වූ ත්‍රෛපාර්ශ්වික සාකච්ඡාවක නිරත වෙමින් එහි සුවිශේෂී වෙනසක් සිදුකළේය.
එමෙන්ම, මීට පෙර මෙම යුද මුක්ත කලාපයට දකුණු කොරියාව දෙසින් පය තැබූ ඇමෙරිකාවේ හිටපු ජනපති බරැක් ඔබාමා ඇතුළු පෙර සිටි ජනපතිවරුන් දුරදක්නයන් තුළින් උතුරු කොරියාව දෙස සැකමුසු බැල්මෙන් බැලීමක් මෙන්ම, ඔවුන් සාමාන්‍ය ඇඳුමෙන් වෙනස්ව යුද බිමට යන ඇඳුමෙන් සැරසී පැමිණීමද මෙවර ට්‍රම්ප් සම්පූර්ණයෙන්ම වෙනස් කර තිබුණි.
ඔහු සුපුරුදු සම්පූර්ණ ඇඳුම් කට්ටලයකින් සැරසී, තවත් රාජ්‍යයක රාජ්‍ය නායකයෙකු හමුවන ආකාරයෙන් මෙම යුද මුක්ත කලාපයේදී උතුරු කොරියානු නායකයා හමුවීම කැපී පෙනුණි. මීට අමතරව, අවසන් වරට මෙම නායකන් දෙදෙනා හමුවූ වියට්නාමයේ හැනෝයි සාකච්ඡාවේදී මාධ්‍ය ප්‍රශ්න කිරීම් හමුවේ නිහඬව සිටි කිම් ජොන්ග්-උන් මෙවර මාධ්‍ය ප්‍රශ්න කරන විට මහ හඬින් ඒවාට පිළිතුරු ලබාදෙන ආකාරය දැකිය හැකි විය.
මීළඟ ඇමෙරිකානු ජනාධිපතිවරණය හමුවේ ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් සිදුකරන රංගනයක් ලෙස මෙය ඇතැම් මාධ්‍ය හුවාදක්වා තිබුණද, ලෝක සාමය අතින් ගැනීමේදී බොහෝ විදෙස් මාධ්‍ය මෙම සිදුවීම අතිශය අගය කර තිබුණි.