ඉන්දියාව සහ පාකිස්තානය අතර ඇතිවී තිබෙන උණුසුම් වාතාවරණය පහකර දැමීමට දිල්ලියට පැමිණෙන සෞදි අරාබියේ ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු කටයුතු කරනු ඇති බව සෞදිය පවසයි.
පාකිස්තානයේ සංචාරය කළ සෞදි කුමරු, සිය ආසියානු සංචාරයේ මීළඟ නැවතුම ලෙස ඉන්දියාවට පැමිණෙයි.
පසුගිය පෙබරවාරි 14දා ඉන්දීය පාලනයේ පැවති කාෂ්මීරය තුළ සිදුවූ මරාගෙන මැරෙන ප්‍රහාරයකින් ඉන්දීය ආරක්ෂක අංශ සාමාජිකයන් 40 දෙනෙකු ජීවිතක්ෂයට පත්වීම මෙම උණුසුම ඇති කර තිබුණි.
පාකිස්තානය කේන්ද්‍ර කරගත් ජයීෂ්-ඊ-මොහොමඩ් නමැති ඉස්ලාමීය ත්‍රස්ත කණ්ඩායම මෙම ප්‍රහාරයේ වගකීම භාරගත් අතර, මෙම ප්‍රහාරකයන් පෝෂණය කරන බවට ඉන්දියාව චෝදනා කරමින් පාකිස්තානය සමග වෙළෙඳ සබඳතා රැසක් අත්හරින ලදී.
කෙසේ වෙතත්, පාකිස්තානයේ වත්මන් අගමැති ඉම්රාන් ඛාන් හමුවී සාකච්ඡා කළ සෞදි කුමරා, ඉන්දියාව වෙත පැමිණෙන්නේ පාකිස්ථානය තුළ දැවැන්ත ආයෝජනයක් සඳහා ගිවිසුම් අත්සන් කිරීමෙන්ද අනතුරුවය. මේ තත්ත්වය තුළ කලාපයේ සාමකාමී වටපිටාව වෙනුවෙන් ඔහු මේ සඳහා මැදිහත් වනු ඇත.