ඉතියෝපියානු ගුවන් සේවයට අයත් බෝයිං 737 Max 8 වර්ගයේ යානය පුද්ගලයන් 157 දෙනෙකු සමග අනතුරට ලක්වීමත් සමග බෝයිං සමාගම දැඩි ප්රශ්න කිරීම්වලට ලක්ව තිබේ.
මාස 5ක කාලයක් තුළ බෝයිං සමාගමේ 737 Max 8 යානයක් කඩා වැටුණු දෙවැනි අවස්ථාව මෙය වන අතර, පසුගිය ඔක්තෝබර් ලයන් එයාර් ගුවන් සේවයේ යානයක් ඉන්දුනීසියාවට ඔබ්බෙන් මුහුදට කඩා වැටුණි.
මෙම දරුණු අනතුර සිදුවූයේ ඊයේ (10දා) ඉතියෝපියාවේ අඩීස් අබ්බාස් නුවර සිට කෙන්යාවේ නයිරෝබි දක්වා පියාසර කිරීම ඇරඹූ ET302 යානය හදිසියේ කඩා වැටීමත් සමගිනි.
මෙම යානය ගුවන්ගත වී සුළු මොහොතකින් එය ආපසු හරවා පැමිණීම සඳහා නියමුවා පාලක මැදිරියෙන් අවසර ඉල්ලා ඇති අතර, ඉන් සුළු මොහොතකට පසුව යානය කඩා වැටී ඇත.
එම අවස්ථාවේදී යානයේ මගීන් 149 දෙනෙකු සමග කාර්ය මණ්ඩලයේ 8 දෙනෙකු ගමන් කර ඇති අතර, විවිධ ජාතීන් 33කට අයත් පිරිසක් එහි සිටි බව ඉතියෝපියානු ගුවන් සේවය වැඩිදුරටත් පවසයි.