ඇෆ්ගනිස්ථාන ජනාධිපති අෂ්රෆ් ඝානි දෙවැනි වරටත් ජයග්‍රහණය කිරීමට සූදානම් වන බව පෙනෙන බව විදෙස් වාර්තා පවසයි.
එරට පැවති මැතිවරණයේ මූලික ප්‍රතිඵලවලින් පෙනී යන්නේ ඔහු සැලකිය යුතු ලෙස ඉදිරියට පැමිණෙන බවකි.
පසුගිය සැප්තැම්බර් 28 මැතිවරණයෙන් ඔහු 50.64% ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගත් බව බලධාරීහු පවසති. නමුත් එල්ල වූ විරෝධතා සහ මැතිවරණ දූෂණ චෝදනා මධ්‍යයේ ප්‍රතිඵල ප්‍රමාද විය.
ඝානිගේ ප්‍රතිවාදියා වන ආචාර්ය අබ්දුල්ලා අබ්දුල්ලා 39.52%ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත්තේය.
කෙසේ වෙතත්, මෙවරද ඔහු ප්‍රතිඵල ප්‍රතික්ෂේප කර ඇති අතර අවසාන ප්‍රතිඵලය ප්‍රකාශයට පත් කිරීමට පෙර අභියාචනයක් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කර තිබේ.
"අපි නැවත වරක් පැහැදිලි කරන්නේ, අපගේ නීත්‍යානුකූල ඉල්ලීම්වලට විසඳුම් ලබා දෙන්නේ නැත්නම් මේ වංචනික ඡන්දයේ ප්‍රතිඵලය භාර නොගන්නා බවයි" ආචාර්ය අබ්දුල්ලාගේ කණ්ඩායමේ ප්‍රකාශයක් පැවසීය.