මිහිමත පවතින මිලියන ගණනක් වූ සත්ත්ව හා ශාක ප්‍රජාවෙන් දහයෙන් එකක් පවතින ඇමසන් වනාන්තරය තුළ මේ වනවිට වර්ෂ 2010 න් පසුව ප්රබලතම ලැව්ගිනි පැතිර යමින් පවතී.
බ්‍රසීල අභ්‍යවකාශ ඒජන්සිය වාර්තා කරන තොරතුරු අනුව මෙම ස්වභාවික වැසි වනාන්තරය ආශ්‍රිතව මේ වනවිට ලැව්ගිනි 85,000කට අධික ප්‍රමාණයක් වාර්තා වී තිබේ.
ඒ අනුව, මෙම දැවැන්ත වැසි වනාන්තරය නිජභූමිය කරගෙන ජීවත්වන බිලියන ගණනක් වන සත්ව හා ශාක ප්‍රජාවට මින් සිදුව ඇති බලපෑම සුළුපටු නොවනු ඇත.
ජගුවරයන් වැනි විශාල සතුන් මෙවැනි ගිනිගැනීම් අවස්ථාවලදී පැන ගැනීමට හැකි වුවත්, බොහෝ සතුන්ට මෙවැනි ව්‍යසනයකින් ඉක්මනින් ඉවත්ව යාමේ හැකියාවක් නොමැත.
විශේෂයෙන්ම ජෛවවිවිධත්වයෙන් පෝෂිත මෙම වනාන්තරය තුළ ජීවත් වන කුඩා සතුන් බිලියන ගණනක් සෘජුවම මෙම ගින්නට හසුවන්නට ඇති බව විද්‍යාඥයෝ පෙන්වා දෙති.
ඉන් නොනැවතී, එම සතුන්ගේ බිත්තරද විනාශ වී යාමෙන් ඉදිරියේදී ඉපදීමට සිටි සත්ව ප්රජාවක්ද වනාන්තරයට අහිමි වන බව නොරහසකි.
ස්ලෝත් යන නමින් හැඳින්වෙන ලොව ඉතා සෙමෙන් හැසිරෙන ක්ෂීරපායී සත්ත්ව විශේෂයද ඇමසන් වනාන්තරය ආශ්‍රිතව දැකගත හැකි අතර, මෙම සතුන්ට මෙම ලැව්ගිනිවල ගොදුරක් වන්නට ඇති බව විශ්වාස කෙරෙයි.
එමෙන්ම, කුරුල්ලන්ටද මෙය බලපෑමක් වන්නට ඇත්තේ, වැඩුණු පක්ෂියෙකුට පියඹා අනතුරින් බේරීමට නොහැකි වුවත් ඔවුන්ගේ පැටවුන්ට සහ බිත්තර ආරක්ෂා කරගැනීමට එම සතුන්ට අවස්ථාවක් නොමැති බව පෙන්වා දෙමිනි.
ඒ අනුව, ලෝකයේ පෙනහල්ල ලෙස සැලකෙන ඇමසන් වනාන්තරයේ ලැව්ගිනි තත්ත්වය කවරාකාරයෙන් නිර්වචනය කළද ලෝකය තුළ ඇතිකර තිබෙන්නේ සුළුපටු තර්ජනයක් නොවන බව සැබෑවකි.