උතුරු කොරියාව වෙත සෑමවිටම හිසරදයක් ඇති කෙරෙන මහා පරිමාණ ඒකාබද්ධ යුද අභ්‍යාස සිදුකිරීම නවතා දමන බව ඇමෙරිකාව සහ දකුණු කොරියාව පවසයි.
කොරියානු මහද්වීපය තුළ සම්පූර්ණ න්‍යෂ්ටිකහරණයක් සඳහා වූ ව්‍යායාමය සාර්ථක කරගැනීමේ රාජතාන්ත්‍රික මැදිහත්වීමේ තීරණයක් ලෙස මෙම දෙරටේ ආරක්ෂක බලධාරීහු පවසති.
ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොන්ග්-උන් අතර පසුගිය වසරේ ආරම්භ වූ සාකච්ඡාවලින් පසුව එසේ පැවැත්වීමට නියමිතව තිබූ ඒකාබද්ධ යුද අභ්‍යාස කිහිපයක්ම නතර කෙරිණි.
උතුරු කොරියාව මෙම යුද අභ්‍යාස හඳුන්වනු ලැබුවේ ඔවුන් ආක්‍රමණය කිරීමට ගනු ලබන හමුදාමය වෑයමක් ලෙසිනි.
ඒ අනුව, ඇමෙරිකානු සහ දකුණු කොරියානු ආරක්ෂක අමාත්‍යවරුන් ෆෝල් ඊගල් සහ කී රිසෝල්ව් යන යුද අභ්‍යාස අත්හිටුවීම සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වා එකඟත්වයකට පැමිණ තිබේ.