ප්රංශයේ පැරිස් නුවර ලෝක උරුමයක් බඳු වූ අයිෆල් කුලුණ ත්රස්ත ප්රහාරයකින් ආරක්ෂා කරගැනීම සඳහා ඒ වටා විශේෂ ප්රාකාරයක් ඉදිකිරීමට කටයුතු කර තිබේ.
2016 ජූනි මාසයේ සිට අයිෆල් කුලුණ වටා පැවති තාවකාලික බාධක ඉවත් කරමින් මෙම ස්ථිර ප්රාකාරය එලැඹෙන ජූලි මාසයේදී විවෘත කෙරෙනු ඇති බව කියයි.
2015 සැප්තැම්බර් මාසයේ සිට ප්රංශය තුළ ජිහාඩ් ත්රස්ත ප්රහාර හේතුවෙන් මේ දක්වා මියගොස් ඇති පිරිස 240කි.
ඇ.ඩො.මිලියන 40.1ක වියදමින් ඉදිකෙරුණු මෙම ප්රාකාරයේ පැති දෙකක් සෙ.මී.6.5ක ඝනකමකින් යුතු වීදුරු බිත්තිවලින් ආවරණය වන අතර, අනෙක් පැති දෙක අඩි 10කට වඩා උස වානේ වැටක් ලෙස ඉදිකරමින් පවතී.
කෙසේ වෙතත්, වීදුරු බිත්ති සහිත ප්රදේශයෙන් වාහනයක් යොදාගෙන සිදුකළ හැකි ප්රහාර වැළැක්වීම සඳහා කොන්ක්රීට් බාධක 420ක් තැන්පත් කරමින් සිටියි.
අයිෆල් කුලුණ පහළ කොටස පසුගිය 2016 වසරේ ජූනි මාසයේ සිට මහජනතාවට විවෘත නොවුණු අතර, නිරන්තරයෙන් ආරක්ෂක අංශ ඒ ආශ්රිත සෝදිසි මෙහෙයුම්වල නිරතව සිටියහ.
කෙසේ වෙතත්, නිරන්තර සංචාරක ආකර්ෂණයක් සහිත අයිෆල් වෙත පැමිණෙන ජනතාවට අපහසුවක් නොමැති ආකාරයෙන් එය නැරඹීමට අවස්ථාව සැලසීමටත්, එහි ආරක්ෂාව තහවුරු කිරීමටත් මෙම පියවර ගත් බව එහි භාරකාරීත්වය පවසයි.
2018 වසරේදී පමණක් මිලියන 7ක සංචාරක පිරිසක් අයිෆල් නරඹනු ඇතැයි පුරෝකථනය කර තිබේ.