උතුරු කොරියාව ඉල්ලා සිටියේ සම්බාධකවලින් කොටසක් ඉවත් කිරීමක් වන අතර, සම්පූර්ණ ඉවත් කිරීමක් ඉල්ලා නොසිටි බවත්, ඇමෙරිකාව තව සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වුවත් උතුරු කොරියාවේ ඉල්ලීම් වෙනස් නොවන බවත් එරට විදේශ අමාත්‍යවරයා අවධාරණය කරයි.
වියට්නාමයේ හැනෝයි නුවරදී ඇමෙරිකානු සහ උතුරු කොරියානු නායකයන් අතර ඊයේ එකඟත්වයකින් තොරව අවසන් වූ සාකච්ඡා සමුළුවෙන් පසුව රාත්‍රියේ පැවති මාධ්‍ය හමුවකදී එරට විදේශ අමාත්‍ය රී යොන්ග් හෝ මෙම අදහස් පළ කළේය.
මෙම සාකච්ඡා සමුළුවෙන් පසුව ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිදුකළ මාධ්‍ය හමුවේදී ඔහු කියා සිටියේ උතුරු කොරියාව සම්පූර්ණ සම්බාධක ඉවත් කිරීමක් ඉල්ලා සිටි බැවින් එකඟත්වයකට පැමිණීමට නොහැකි වූ බවයි.
නමුත්, ජනපති ට්‍රම්ප් කියන ආකාරයේ සම්පූර්ණ සම්බාධක ඉවත් කිරීමක් ගැන උතුරු කොරියාව කතා නොකළ බව මෙම මාධ්‍ය හමුවේදී අවධාරණය කළ විදේශ අමාත්‍යවරයා, ඔවුන් ඉල්ලා සිටියේ සම්බාධකවලින් අඩක් ඉවත් කරන ලෙස බවද කියා සිටියේය.
එමෙන්ම, යොන්ග්බයෝන් හි න්‍යෂ්ටික පර්යේෂණ මධ්‍යස්ථානය සම්පූර්ණයෙන් ඉවත්කිරීම ඇමෙරිකානු නිරීක්ෂකයන් ඉදිරියේ සිදුකිරීම වැනි වඩාත් යථාර්ථවාදී යෝජනා මෙම සාකච්ඡා සමුළුවට උතුරු කොරියාව ඉදිරිපත් කළ බවද ඔහු වැඩිදුරටත් කීය.
ඇමෙරිකා එක්සත් ජනපදය හා උතුරු කොරියාව අතර මේ දක්වා ඇති වී තිබූ සබඳතාව අනුව මෙම යෝජනාව උතුරු කොරියාව පැත්තෙන් න්‍යෂ්ටිකහරණ ක්‍රියාවලිය වෙනුවෙන් ලබාදුන් ප්රබලතම යෝජනාවක් බවද හෙතෙම අවධාරණය කළේය.
මෙම සම්බාධක නිසා උතුරු කොරියානු ජනතාවගේ ආර්ථිකය හා ඔවුන්ගේ ජීවන තත්ත්වය නගා සිටුවීමට නොහැකි බවත්, ඒ වෙනුවෙන් මෙම සම්බාධක අඩක් ඉවත්කිරීම යෝජනා කළ බවත් ඔහු කීය.
ඉන් නොනැවතී, න්‍යෂ්ටික සහ දිගුදුර මිසයිල අත්හදා බැලීම් ස්ථිරවම හා සම්පූර්ණයෙන්ම නැවැත්වීමේ යෝජනාවක්ද උතුරු කොරියාව ඉදිරිපත් කළ බව කී විදේශ අමාත්‍යවරයා පෙන්වා දුන්නේ හැනෝයි සාකච්ඡා සමුළුව වැනි ප්‍රායෝගික යෝජනා ඉදිරිපත් කළ හමුවක් තවත් බලාපොරොත්තු විය නොහැකි බවයි.
ඒ අනුව, ඇමෙරිකා එක්සත් ජනපදය ඉදිරියේදී තවදුරටත් සාකච්ඡා ඉල්ලා සිටියද උතුරු කොරියාවේ ප්‍රධාන ප්‍රතිපත්ති හා ඔවුන්ගේ යෝජනා නොවෙනස් වනු ඇති බව විදේශ අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.