අනතුරට පත් MS804 ඊජිප්තු යානයේ එක් කළු පෙට්ටියක දත්ත පරීක්ෂා කිරීමේදී යානයෙහි දුමක් ඇති වූ බවට හෝඩුවාවක් පිළිබඳ අනතුරු ඇඟවීමේ හඬක් එහි පටිගත වී තිබූ බව කියයි. එමෙන්ම, මධ්‍යධරණී සාගර පතුලෙන් සොයාගනු ලැබූ යානයේ ඇතැම් සුන්බුන් කොටස් ආශ්‍රිතව දැලි හමුවීමෙන් යානය තුළ ගින්නක් හටගත් බවට වූ අදහස වඩාත් තහවුරු වන බවද පර්යේෂකයෝ පවසති.
එයාර්බස් A320 යානය පසුගිය මැයි මාසයේ 19 වැනිදා කයිරෝ නුවර සිට පැරීසිය බලා පියාසර කරමින් තිබියදී අනතුරට පත්වූයේ එහි ගමන්ගත් පුද්ගලයන් 66 දෙනාගේද ජීවිත අහිමි කරමිනි. කෙසේ වෙතත්, මෙසේ පරීක්ෂාවට බඳුන් වූ කළු පෙට්ටියේ දත්තවල යානය ගුවන්ගත වූ අවස්ථාවේ සිට එය මධ්‍යධරණී සාගරයට අඩි 37,000ක් ඉහළින් සිය ගමන අවසන් කිරීම දක්වා වූ සියලු දත්ත පටිගත වී ඇති බවද කියැවෙයි.
ගුවන්යානා සන්නිවේදන ඇමතීමේ හා වාර්තා කිරීමේ පද්ධතිය හෙවත් Acars සමග යානය නිරන්තරයෙන් සබඳතා පවත්වා ඇති බවද පටිගත වූ දත්තවලින් කියැවෙයි. එහිදී, වැසිකිලියකින් දුමක් නිකුත් වීමක් පිළිබඳවද පටිගත වී අති බව ප්‍රංශයේදී මෙම කළු පෙට්ටිය අලුත් වැඩියාවට ලක්වීමෙන් දින දෙකකට පසුව අනාවරණය කර තිබේ.