MH370 අතුරුදන් යානයේ සුන්බුන් සෙවීමේ මෙහෙයුමකට සූදානමින් එම යානයේ ගමන්ගත් මගීන්ගේ ඥාතීන් පිරිසක් මැඩගස්කරය වෙත පැමිණ සිටින බව විදෙස් වාර්තා පවසයි.
යානයේ සිටි තම ඥාතීන්ට සිදුවූයේ කුමක්ද යන්න සොයා ගැනීම සඳහා යානයේ සුන්බුන් තම දෑතින්ම සොයා ගැනීමේ අටියෙන් මේ ආකාරයේ මෙහෙයුමක් සිදුකරන බව ඔවුහු පවසා සිටියහ.
දැනට යානය සම්බන්ධයෙන් හමුවූ බොහෝ සුන්බුන් කොටස් නැගෙනහිර අප්රිකානු කලාපයෙන් ලැබුණු අතර, මැඩගස්කරයද ඒ අතර ප්රධාන තැනක් ගනී.
2014 මාර්තු මස 08 වැනිදා මැලේසියාවේ ක්වාලලම්පූර් නුවර සිට චීනයේ බිජිං බලා ගමන් කරමින් සිටියදී පුද්ගයන් 239 දෙනෙකු සමග මෙම යානය අතුරුදන් විය.
යානය බොහෝ විට දකුණු ඉන්දීය සාගරයට කඩා වැටෙන්නට ඇති බව විශ්වාස කෙරුණු අතර, යානය සොයා එදාමෙදාතුර ලෝකයේ සිදුවූ දැවැන්තම සෝදිසි මෙහෙයුමද සිදුකෙරිණි.