මැලේසියාවේ ක්වාලලම්පූර් නුවර සිට චීනයේ බීජිං දක්වා ගමන් කරමින් තිබියදී 2014 මාර්තු මාසයේදී අතුරුදන් වූ MH370 දරණ මැලේසියානු ගුවන් සේවයට අයත් යානය මිනිත්තුවකට අඩි 20,000ක වේගයකින් මුහුදට කඩා වැටී ඇති බව අනාවරණය වී තිබේ.
එම යානයෙන් නිකුත් වූ ස්වයංක්‍රීය සංඥා විශ්ලේෂණය කොට ලබාගත් දීර්ඝ විස්තර ඇතුළත් වාර්තාවට අනුව යානය ඉන්දියන් සාගරයේ බටහිර ඔස්ට්‍රේලියාවට ආසන්නයෙන් මුහුදට කඩා වැටී ඇති බව මේ වනවිට හෙළි වී ඇති බව ඔස්ට්‍රේලියානු විශේෂඥයෝ පවසති.
එමෙන්ම, මෙම වාර්තාවට අනුව මිනිත්තුවකට අඩි 20,000 ක වේගයකින් ගුවනේ සිට මුහුදට කඩා වැටුණු යානය කොටස් වශයෙන් මුහුදුබත් වී ඇති බවද හෙළි වී තිබේ.
අනාවරණය වී ඇති නවතම තොරතුරු සහ ගුවන් යානයේ නිෂ්පාදකයන් ඉදිරිපත් කළ දත්ත අනුව මේ වනවිට සෝදිසි මෙහෙයුම් සිදුකෙරෙන කලාපයේම යානය මුහුදු බත් වී ඇති බවට නිගමනය කළ හැකි බවද ඔස්ට්‍රේලියාවේ ගමනාගමන ආරක්ෂක කාර්යාංශයේ කොමසාරිස් ග්‍රෙග් හුඩ් කියා සිටියේය.
යානය අතුරුදන් වන අවස්ථාවේදී එහි පුද්ගලයන් 239 දෙනෙකු ගමන් කරමින් සිටි අතර, යානය සොයා එදාමෙදා තුර සිදුකළ දැවැන්තම සෝදිසි මෙහෙයුම සිදුකළත් යානය පිළිබඳ නිශ්චිත හෝඩුවාවක් මෙතෙක් සොයාගැනීමට නොහැකි වී ඇත.