මීට තෙවසරකට පෙර අතුරුදන් වූ මැලේසියානු ගුවන් සේවයට අයත් MH370 යානය පිළිබඳ කිසිදු හෝඩුවාවක් නොමැති බව එම යානය සෙවීමේ යෙදුණු ඔස්ට්‍රේලියානු විමර්ශන නිලධාරීන් සිය අවසන් වාර්තාවෙන් පවසා තිබේ.
වර්ෂ 2014 මාර්තු මාසයේදී මැලේසියාවේ ක්වාලලම්පූර් නුවර සිට චීනයේ බීජිං දක්වා පුද්ගලයන් 239 දෙනෙකු සමග ගමන් කළ මෙම යානය ඉන්දියානු සාගර කලාපයේදී අතුරුදන්ව තිබුණි.
මෙම යානය සෙවීමේ මෙහෙයුම් සඳහා චීනය මෙන්ම මැලේසියාවද සම්බන්ධ වූ අතර, අවසානයේදී දින 1,046ක සෝදිසි මෙහෙයුමකින් පසුව පසුගිය ජනවාරියේදී යානය සෙවීමේ කටයුතු අත්හරින ලදී.
මේ අතර, යානය පිළිබඳ කිසිදු තොරතුරක් සොයාගැනීමට නොහැකි වීම පිළිබඳ සිය බලවත් කනගාටුව ප්‍රකාශ කිරීමටද ඔස්ට්‍රේලියානු විමර්ශන නිලධාරීන් කටයුතු කළේය.
ලොව පුරා එදාමෙදා තුර සිදුකරන ලද ලොව දැවැන්තම සෝදිසි මෙහෙයුම MH370 යානය සොයාගැනීම සඳහා යොමුවූ අතර, එහිදි, දියයට සිදුකෙරුණු විශේෂ සෝදිසි මෙහෙයුම්ද සිදුවිය.
2015 සහ 2016 වසරවලදී මෙම යානයේ බවට සැකකෙරෙන කොටස් කිහිපයක් ඉන්දියානු සාගරයෙන් හා අප්‍රිකානු වෙරළ කලාපයෙන් හමුවිය.