නෙදර්ලන්ත හා ඔස්ට්‍රේලියානු අධිකරණ වෛද්‍ය නිලධාරී විශේෂඥයන්ගෙන් සමන්විත 70ක කණ්ඩායමක් නැගෙනහිර යුක්රේනයේදී MH17 ගුවන් යානය අනතුරට පත් ප්‍රදේශයේ විශේෂ පරීක්ෂණ මේ වනවිට ආරම්භ කර තිබේ.
ඒ අනුව, අදාළ කලාපයේ එක් දිනක් තුළ සම්පූර්ණ පරීක්ෂණයක් මේ වනවිට සිදුකර ඇති අතර, යානයේ සුන්බුන් විසිරී ඇති කලාපය වර්ග කිලෝමීටර් 35ක පමණ කලාපයක් බව කියැවෙයි. එය නැගෙනහිර යුක්රේනයේ රුසියානු හිතවාදීන්ගේ පාලනයේ පවතින ප්රදේශයකි.
මීට පෙර මේ ආශ්‍රිතව සිදුකළ එරට සෝදිසි කණ්ඩායම්වලට යානයේ ගමන්ගත් 298 දෙනාගේ සිරුරුවලින් 227ක් හමුවී තිබුණු අතර, ඒවා හඳුනාගැනීම සඳහා නෙදර්ලන්තයට යැවිණි.
කෙසේ වෙතත්, ඉන් අනතුරුව අන්තර්ජාතික නිරීක්ෂණ කණ්ඩායමක් ලෙස මෙම පිරිස අදාල කලාපය වෙත ඇතුළු වීමට උත්සාහ කළත් ප්‍රදේශයේ පැවති ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් එය දින කිහිපයක්ම ආපස්සට ඇදුණි.
අවසානයේදී යුක්රේන රජයේ හමුදා ප්‍රහාර නැවැත්වීමෙන් පසු ඔවුන් අදාළ කලාපයට ඇතුළු වුවත්, මේ වනවිටත් යම් යම් ප්‍රදේශවල ගැටුම් පවතින බව කියැවෙයි.
පසුගිය ජූලි 17 වැනිදා අනතුරට පත් MH17 මැලේසියානු බෝයිං 777 ගුවන් යානය නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම් සිට මැලේසියාවේ ක්වාලාලම්පූර් දක්වා ගමන් කරමින් සිටියදී අනතුරට පත්වූ අතර, එය මිසයිල ප්‍රහාරයකට ලක්වූ බව තහවුරු විණි.
නමුත්, එම ප්‍රහාරය එල්ල කර ඇත්තේ රුසියානු හිතවාදී කැරලිකරුවන්ද, එසේත් නැත්නම් යුක්රේන හමුදාව විසින්මද යන්න තවමත් නොවිසඳුණු පැනයක් වී තිබේ.