ISIS සුන්නි ඉස්ලාමීය අන්තවාදීන්ගේ ප්‍රාණ ඇපයේ සිටියදී, ගෙල සිඳ ඝාතනය කෙරුණු ඩේවිඩ් හෙයින්ස් නමැති බ්‍රිතාන්‍ය ජාතික සහන සේවකයාගේ ඝාතකයන් අල්ලා ගැනීමේ දඩයම අරඹන බව බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් අවධාරණය කරයි.
අගමැතිවරයා වැඩිදුරටත් පවසා සිටින්නේ ආරක්ෂාව සහතික කිරීම සඳහා අවශ්‍ය කවරාකාරයක වුවද පියවර ගැනීමට පසුබට නොවන බවයි.
ISIS ඉස්ලාමීය අන්තවාදීන්ගේ තර්ජනය වනසා දැමීම වඩාත් සාවධානව හා කලබලයකින් තොරව සිදුකළ යුතු බවද අගමැතිවරයා අවධාරණය කරයි.
ඩේවිඩ් හෙයින්ස් ගෙල සිඳ ඝාතනය කරන එම වීඩියෝවෙන්, තවත් බ්‍රිතාන්‍ය ජාතික සහන සේවකයෙකු වූ 47 හැවිරිදි ඇලන් හෙනින් පෙන්වමින් අන්තවාදීන් පවසන්නේ ඔවුන්ගේ මිළඟ ගොදුර ඔහු බවයි.
2013 වසරේදී සිරියාවේදී සුන්නි අන්තවාදීන් අතට පත්වූ හෙයින්ස් සුන්නි අන්තවාදීන් අතින් මෑත කාලීනව හිස සිඳ ඝාතනය වූ තුන්වැනි බටහිර වැසියා වන අතර, මීට පෙර ඇමෙරිකානු ජාතික මාධ්‍යවේදීන් දෙදෙනෙකු මේ ආකාරයෙන්ම ඝාතනයට ලක්විය.
බ්‍රිතාන්‍යයේ හදිසි කෝබ්රා ආරක්ෂක රැස්වීමක්ද කැඳවා ඇති අතර, මෙම රැස්වීම අවසානයේදී අගමැතිවරයා පවසා ඇත්තේ ISIS ඉස්ලාමීය අන්තවාදීන් මුස්ලිම් ජනතාවක් නොව, ඔවුන් රාක්ෂයන් බවයි.