ISIS ඉස්ලාමීය රාජ්‍යයේ ජිහාඩ් අන්තවාදීන් සමග එක්වීම සඳහා බටහිර රාජ්‍යවලින් කාන්තාවන් 550ක් පමණ ඉරාකයට හා සිරියාවට ගොස් ඇති බව ස්වාධීන පරීක්ෂණ වාර්තාවකින් හෙළි වී තිබේ.
ඉස්ලාම් රාජ්‍යයේ ජිහාඩ් කැරැල්ලට එක් වූ කාන්තාවන් ගැන ස්වාධීන ආයතනයක් වන Institute for Strategic Dialogue මගින් සිදුකළ සමීක්ෂණයක් පාදක කරගනිමින් මෙම වාර්තාව එළිදක්වා තිබේ.
එහිදී, තම ජීවිතය සම්බන්ධයෙන් අතිශය අවදානමක් තබමින් බටහිර කාන්තාවන් මෙවැනි තීරණයක් ගැනීමට හේතුව ලෙස ඔවුන් පෙන්වා දෙන්නේ පෞද්ගලික මැසිවිලි සහ ජිහාඩ් කැරලිකරුවෙකු විවාහ කර ගැනීමට ඇතැම් කාන්තාවන් තුළ ඇති රුචිය ඇතුළු විවිධාකාර හේතූන් බවයි.
කෙසේ වෙතත්, මෙහිදී ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ මෙවැනි තීරණයක පවතින අවදානම පිළිබඳව නිවැරදි තක්සේරුවකට පැමිණීමට බොහෝ කාන්තාවන් අපොහොසත් වී ඇති බවයි.
එම රටවලට ගියපසු යථාර්ථය බොහෝ අයට වැටහී ගියත්, ඔවුන්ට යළි සිය රට බලා පැමිණීමට නොහැකි තත්වයක් පවතින බවද එම වාර්තාවේ සඳහන් වෙයි.