සැම්සුන්ග් සමාගම තම ප්රමුඛ ඇන්ඩ්‍රොයිඩ් ස්මාට්ෆෝන් අතරට නවතම සාමාජිකයන් දෙදෙනෙක් හඳුන්වා දෙයි.
සැම්සුන්ග් Galaxy S6 Edge+ සහ Galaxy Note 5 මෙම නවතම ස්මාට්ෆෝන් ද්විත්වයයි.
මෙම දුරකථන මාදිලි දෙකම අඟල් 5.7ක තිරයකින් යුතු අතර, බලාපොරොත්තු වූවාට වඩා ඉක්මණින් එය පාරිභෝගිකයන් අතට පත්කිරීමට සැම්සුන්ග් ඉලෙක්ට්‍රොනික්ස් සමාගම කටයුතු කර තිබේ.
ඇමෙරිකාවේ නිව්යෝක් නගරයේ පැවති සැම්සුන්ග් මාධ්‍ය හමුවකදී මෙම තොරතුරු අනාවරණය කෙරිණි.
ලොව වැඩිම ස්මාට්ෆෝන් අලෙවියක් පෙන්වන සැම්සුන්ග් සමාගම පසුගිය කාර්තුවේ දුරකථන අලෙවියේ යම් පසුබෑමක් පෙන්වීමද මෙම දුරකථන හඳුන්වාදීමට හේතුවක් වී තිබේ.
2015 අප්‍රේල් සිට ජූනි දක්වා කාලයේදී සැම්සුන්ග් සමාගම ස්මාට්ෆෝන් මිලියන 73.2ක් ලොව පුරා අලෙවි කර පෙරමුණේ පසු වුවද, එය පසුගිය වසරේ සැම්සුන්ග් දුරකථන අලෙවිය සමග සැසඳීමේදී -2.3% ක පසුබෑමකි.
මේ අතර, ඇපල් සමාගම එම කාලය තුළ දුරකථන මිලියන 47.5 ක් අලෙවි කරමින් දෙවැනි ස්ථානයේ රැඳෙන අතර, ඔවුන් පසුගිය වසර සමග සැසඳීමේදී +34.9% ක වර්ධනයක් පෙන්වයි.
එමෙන්ම, හුවාවේ එම කාලය තුළ දුරකථන මිලියන 29.9 ක් අලෙවි කරමින් තෙවැනි තැනට පත්වන්නේ, පසුගිය වසරට සාපේක්ෂව +48.1% ක වර්ධනයක් පෙන්වමිනි.