හිම බලකොටුවක් තැනීමට ගිය 12 හැවිරිදි ඇමෙරිකානු පිරිමි දරුවෙකු, එම හිම බලකොටුවටම යටවී ජීවිතක්ෂයට පත්ව ඇති අනුවේදනීය පුවතක් නිව්යෝක් නගරයෙන් වාර්තා වෙයි.
ජෝෂුවා ඩෙමරාස්ට් නමැති මෙම දරුවා සිද්ධියෙන් ජීවිතක්ෂයට පත්වුවත්, ඔහු සමග හිම බලකොටුව තැනූ ඔහුගේ මිතුරා වූ ටෙයිලර් ඩේ ආශ්චර්යයකින් මෙන් මෙම අනතුරින් ජීවිතය ගලවාගෙන ඇත.
මේ දිනවල බොහෝ රටවලට පවතින හිම පතනයත් සමග දරුවන් හිම සමග ක්‍රීඩාවට යෑම සාමාන්‍ය දෙයකි. එහිදී මෙම දරුවන් දෙදෙනා හිම බලකොටුවක් නිර්මාණය කරමින් සිටියදී ඔවුන් මතට ටොන් ගණනාවක හිම ගොඩක් පතිත වී ඔවුන් ඒ හිම ගොඩටම යටවීමෙන් මෙම අනතුර සිදුව ඇති බව විදෙස් වාර්තා පවසයි.
නගරයේ හිම ඉවත්කිරීමේ යන්ත්‍ර යොදාගෙන මාර්ගවල හිම ඉවත්කිරීමෙන් පසුව එම මාර්ගයන් අද්දර එකතුවන දැවැන්ත හිම ගොඩක් ආශ්රයෙන් මොවුන් මෙම හිම බලකොටුව සාදා ඇති අතර, දිවි බේරාගත් දරුවා පවසා ඇත්තේ තමන් හිම කන්ද ඇතුළත සිටින විට එක්වරම රේඩියෝ සංඥාවක් වැනි හඬක් ඇසී, සියල්ල මෙහොතකින් කළුවර වී ගිය බවයි.
මෙම දරුවන් නිවසට නොපැමිණීම හේතුවෙන් පෝලීසිය වෙත ලැබුණු ඇමතුමක් මත පොලිස් සුනඛයන් යොදා සිදුකළ සෝදිසියකදී දැවැන්ත හිම ගොඩ හඳුනාගෙන ඇති අතර, පසුව එක් දරුවෙකු තවමත් ජීවතුන් අතර සිටීම සෝදිසි මෙහෙයුමට සම්බන්ධ වූවන්ට ඇස් අදහාගත නොහැකි සිදුවීමක් වී තිබේ. එහිදී, එම දරුවා සිටි ස්ථානයේ කුඩා වා කුහරයක් ඉතිරිවීම නිසා දරුවා බේරී ඇති බව පොලීසිය පවසයි.