දකුණුදිග චීනයට බලපා ඇති හාටෝ සුළි කුණාටුව හේතුවෙන් පුද්ගලයන් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් සිය ගණනක් තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා පවසයි.
බදාදා සවස් කාලයේදී ග්වාන්ග්ඩෝන්ග් පළාතෙන්, ස්හුහායි නගරයෙන් ගොඩබිමට ඇතුළු වූ සුළි කුණාටුව දැඩි සුළං දහරාවන් මෙන්ම, ප්‍රබල වර්ෂාපතනයක්ද ඇති කර තිබෙන බව චීන මාධ්‍ය පවසයි.
මේ අතර, හොංකොං හි සුළි කුණාටු අවදානම් තත්ත්වය ඉහළම මට්ටමට ගැනීමට කටයුතු කර ඇති අතර, ඒ ආසාන්නයේ පිහිටි මකාවු පළාතේද මෙම ස්වභාවික ආපදා තත්ත්වයට සූදානමින් සිටින බව වාර්තා වෙයි.
සුළි කුණාටුව හේතුවෙන් ගංවතුර තත්ත්වයන්, විදුලිය ඇණහිටීම් මෙන්ම ගමනාගමනයට දැඩි බාධා ඇති වීම් සිදුව ඇති බවද සඳහන් වෙයි.
චීන රජයේ මාධ්‍ය වාර්තා කළේ මේ වනවිට 27,000ක පමණ ජනතාවක් ආරක්ෂිත ස්ථාන කරා යොමුකර ඇති බවයි.
එමෙන්ම, ගංවතුර, නායයෑම් මෙන්ම තවත් ආපදා තත්ත්වයන් ඇතිවීම කෙරෙහි අනතුරු ඇඟවීමක්ද බලධාරීන් විසින් දැනටමත් සිදුකර තිබේ.