(UPDATE) බ්‍රිතාන්‍ය මහ මැතිවරණයෙන් ජයග්‍රහණය ලැබූ කන්සර්වේටිව් පක්ෂය උතුරු අයර්ලන්ත ඩී.යූ.පී. පක්ෂයේ සහාය ලබාගනිමින් රජයක් පිහිටුවමින් බ්‍රිතාන්‍යය අනාගතය ස්ථිර කරන බව අගමැතිනී තෙරේසා මේ පවසයි.
සිය දේශපාලන දිවියේ වඩාත් අභියෝගාත්මක රාත්‍රිය ගත කරමින් බ්‍රිතාන්‍ය අගමැතිනී තෙරේසා මේ නව රජයක් පිහිටුවීම සඳහා දෙවැනි එළිසබෙත් රැජින හමුවීමෙන් අනතුරුව මාධ්‍ය අමතමින් ඇය මෙසේ පවසා සිටියාය.
ඊයේ (08දා) පැවති බ්‍රිතාන්‍ය මහ මැතිවරණයෙන් වැඩි ආසන සංඛ්‍යාවක් මෙන්ම, වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබාගත් තම පක්ෂයට රජයක් පිහිටුවීම සඳහා නීතිමය අවකාශය පවතින බවද ඇය කියා සිටියාය.
බ්‍රිතාන්‍ය මහ මැතිවරණයෙන් කන්සර්වේටිව් පක්ෂය වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබාගත්තද, රජයක් පිහිටුවීමට තරම් බහුතර බලයක් ලබාගැනීමට එම පක්ෂයට නොහැකි බවට මත පළ විය.
මෙවර මහ මැතිවරණයෙන් කන්සර්වේටිව් පක්ෂයට හිමිවූයේ ආසන 318ක් පමණි. එය පසුගිය 2015 මැතිවරණයට වඩා ආසන 12ක අඩුවීමකි. මේ අතර, කම්කරු පක්ෂය මෙවර ආසන 261ක් දිනාගැනීමට සමත්ව සිටින අතර, එය පසුගිය මහ මැතිවරණයට වඩා ආසන 29ක වැඩිවීමකි. රජයක් පිහිටුවීම සඳහා ආසන 326 ක බහුතර බලයක් අවශ්‍ය වෙයි.
මේ තත්ත්වය තුළ කම්කරු පක්ෂ නායක නායක ජෙරමි කෝබයින් පවසා සිටියේ වත්මන් අගමැතිනිය සිය ධුරයෙන් ඉවත්ව කම්කරු පක්ෂයට රජයක් පිහිටුවීම සඳහා අවස්ථාව ලබාදිය යුතු බවයි.
නමුත්, තෙරේසා මේ ධුරයෙන් ඉවත් නොවූ අතර, ඇය උතුරු අයර්ලන්ත ඩී.යූ.පී. පක්ෂයේ සහාය ලබාගැනීමෙන් අනතුරුව තමන්ගේ බහුතර ආසන සංඛ්‍යාව සකසාගෙන මහ රැජින හමුවේ රජයක් පිහිටුවීමට අවසර ඉල්ලා තිබුණි.